
පල්ලම, කම්මන්දලුව ප්‍රදේශයේ සිදුවූ බව කියන දින විස්සක් පමණ වයසැති බිළිඳකු රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව, එම දරුවා ප්‍රසූත කළ විසිපස් හැවිරිදි මව සහ දරුවා මුදලට ලබාගත් කාන්තාව ඇතුළු පිරිසක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. පොලිසිය සඳහන් කරන්නේ ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් පිරිස නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බවයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අන්දමට, මෙම තරුණ මව අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු සමඟ සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳ තිබේ. තමන්ට උපදින දරුවා රැකබලා ගැනීමට මූල්‍යමය හැකියාවක් නොමැති වීම හේතුවෙන්, දරු ප්‍රසූතියටත් පෙර සිටම සැලසුම් කර එකඟ වූ මුදලක් මත මෙම දරුවා වෙනත් පාර්ශවයකට විකිණීමට මොවුන් තීරණය කර ඇත. ඒ අනුව දරු ප්‍රසූතිය සිදුකිරීමෙන් අනතුරුව මෙම බිළිඳා වෙනත් පාර්ශවයකට පවරා දීමට මව කටයුතු කර තිබේ.
මෙසේ මුදලට ලබාගෙන ඇති බිළිඳා භාරගෙන ඇත්තේ මදුරන්කුලිය, කඩයමොට්ටෙයි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන අතර ඇය විවාහ වී වසර දහඅටකට වැඩි කාලයක් ගතවුවද දරුවන් නොමැති තැනැත්තියකි. මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් අදාළ රුපියල් ලක්ෂයක මුදල ගෙවා මෙම දරු ගනුදෙනුව සිදුකර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
ශ්‍රී ලංකාවේ පවත්නා නීත්‍යානුකූල දරුකමට හදාගැනීමේ ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් මෙම දරුවා මුදලට හුවමාරු කරගෙන ඇති බව පෙන්වා දෙන පොලිසිය, ඒ හේතුවෙන් දරුවා වැදූ මව, දරුවා මිලදී ගත් කාන්තාව සහ මෙම ක්‍රියාවට සම්බන්ධ වූ තවත් කිහිපදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.
