the-shooter-of-the-sirisara-uyana-murder-was-among-those-deported-from-dubai

ඩුබායි රාජ්‍යයෙන් පසුගියදා මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරු ද සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අනාවරණය කරගෙන තිබේ. බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාපිටියක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකුට ටී-56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සාහසික අපරාධය සම්බන්ධයෙන් මෙම හිටපු හමුදා සෙබළාට චෝදනා එල්ල වී ඇත.

මෙම ඝාතනය සිදුකිරීම සඳහා අදාළ සැකකරු වෙත ටී-56 ගිනි අවිය ලබාදුන් බව කියන බොරැල්ල සිරිසර උයන පදිංචි කුමාර රත්නම් ඉන්ද්‍රා ප්‍රියදර්ශනී නමැති කාන්තාවක ද පොලිසිය විසින් පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.




අන්තර්ජාතික පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබූ මහවත්තේ චාමර සහ වනාතේ කුඩු දුමින් ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන් විසි එක් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 22 වැනිදා ගුවන් යානා දෙකකින් ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබුණි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගත් මෙම පිරිස වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් ස්ථාන 4කට සහ විශේෂ විමර්ශන ඒකක 14ක් වෙත වෙන් වෙන් වශයෙන් භාර දීමට කටයුතු කෙරිණි.

එහිදී රාජගිරිය බෝධිරාජා මාවතේ පදිංචි දිල්ෂාන් සුගත් කුමාර නමැති පුද්ගලයෙකු ලෙස පෙනී සිටි සැකකරුවෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබූ අතර, ඔහුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී ඉදිරිපත් කර තිබූ තොරතුරු සියල්ල අසත්‍ය බව හෙළි විය. ඔහු රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු නොවන බවත්, ඔහුගේ සැබෑ අනන්‍යතාවය ඕපාත, බානගල, මාහේන ප්‍රදේශයේ පදිංචි රවීන්ද රජිත් සූරියආරච්චි හෙවත් ‘රවී’ නමැති පුද්ගලයා බවත් පොලිස් විමර්ශනවලදී තහවුරු කර ගැනීමට හැකිවී තිබේ.




බොරැල්ලේ සිදුවූ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව මෙම සැකකරු ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ජාතික හැඳුනුම්පතක් සකස් කරගෙන ඇති අතර, ඉන්පසු රාජගිරිය ලිපිනයකට දිල්ෂාන් සුගත් කුමාර යන නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ද ලබාගෙන ඇත. එම ව්‍යාජ ලේඛන භාවිත කරමින් ඝාතනය සිදුවී මාස හයකට පමණ පසු, එනම් පසුගිය පෙබරවාරි මාසයේදී ඔහු ඩුබායි රාජ්‍යය බලා පලාගොස් තිබූ බව පොලිසිය පවසයි.

මෙම සැකකරුට ව්‍යාජ තොරතුරු මත ජාතික හැඳුනුම්පත සහ ගුවන් ගමන් බලපත්‍රය සකස් කර ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසකගේ සහයෝගය සහ අනුග්‍රහය ලැබී ඇති බවට ද දැනට ක්‍රියාත්මක විමර්ශනවලදී කරුණු අනාවරණය වෙමින් පවතී. දැනට 33 වැනි වියේ පසුවන මෙම සාහසික වෙඩික්කරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන පුළුල් විමර්ශන ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.