uk-girl-dies-of-bacterial-infection-in-egyptian-hotel-sparks-controversy

ඊජිප්තුවේ පිහිටි සුපිරි හෝටලයකදී ‘ඊ-කෝලයි’ (E. coli) බැක්ටීරියාව ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍ය ජාතික කුඩා දැරියක මියයාමේ ඛේදවාචකයක් සම්බන්ධයෙන් ප්‍රකට සංචාරක සමාගමක් වන 'Tui' ආයතනයට දැඩි චෝදනා එල්ල වී තිබේ.

හර්ගාඩා (Hurghada) හි පිහිටි තරු පහේ Jaz Makadi Aquaviva හෝටලයේ නවාතැන් ගෙන සිටියදී අසනීප වූ එක් හැවිරිදි ඒරියෙලා මෑන් (Ariella Mann) දැරිය මෙලෙස මියගොස් ඇති අතර, ඇයගේ දෙමාපියන් ප්‍රකාශ කරන්නේ මීට පෙරද අදාළ හෝටලය තුළින් මෙවැනි රෝගීන් වාර්තා වී තිබියදීත් ඒ පිළිබඳව තමන්ව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පා වන බවයි.




පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනිදා ඒරියෙලා සහ ඇගේ පවුලේ සාමාජිකයන් Tui සමාගම හරහා සති දෙකක නිවාඩුවක් සඳහා මෙම හෝටලයට පැමිණ ඇත. නිවාඩුවේ දෙවන සතියේදී දැරියට අධික උණ, පාචනය, වමනය සහ විජලනය වැනි රෝග ලක්ෂණ මතු වී ඇති අතර, හෝටලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඊට ප්‍රතිකාර ලබාගෙන තිබේ. කෙසේ වෙතත්, 2026 වසරේ ජනවාරි 5 වන දින නැවත එක්සත් රාජධානියට පැමිණීමෙන් පසු ඇයගේ තත්ත්වය අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර කෘත්‍රිම කෝමා තත්ත්වයකට පත් කර ඇත. පසුව සිදුකළ පරීක්ෂණවලදී ඇයට ඊ-කෝලයි ආසාදනය වී ඇති බවත්, ඒ හේතුවෙන් වකුගඩු අකර්මණ්‍ය වන HUS (haemolytic uraemic syndrome) නම් දරුණු තත්ත්වයට ඇය ගොදුරු වී ඇති බවත් තහවුරු විය. අනතුරුව ජනවාරි 10 වැනිදා ඇය ජීවිතක්ෂයට පත්විය.

මෙම නිවාඩුව සඳහා පවුම් 6,000ක පමණ මුදලක් වැය කළ බවත්, දැරියගේ ඊජිප්තුවේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා තවත් පවුම් 2,500ක් වැය වූ බවත් ඇයගේ පියා වන 37 හැවිරිදි ලී මෑන් සඳහන් කරයි. වෙනත් රෝගීන් ගැන කල්තියා දැන සිටියේ නම් කිසිදා තම දරුවා එම හෝටලයට රැගෙන නොයන බව 34 හැවිරිදි මව වන ජේඩ් ඕක්ස් පවසයි.




මෙම ඛේදවාචකයට පෙර, තවත් බ්‍රිතාන්‍ය කුඩා දරුවන් දෙදෙනෙකුද අදාළ හෝටලයේදීම මෙම දරුණු රෝග තත්ත්වයට ගොදුරු වී තිබේ. 2025 අගෝස්තු 30 වන දින සය හැවිරිදි ආතර් බ්‍රෝටන් (Arthur Broughton) ද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, ඔහුට මේ වන විට නැවතත් ඇවිදීමට සහ කතා කිරීමට පුහුණු වීමට සිදුවී ඇත. මීට පෙර 2024 ජූලි මාසයේදී එවකට දෙහැවිරිදි වියේ පසුවූ ක්ලෝයි කෘක් (Chloe Crook) දැරියද මෙලෙස අසාධ්‍ය වී කෝමා තත්ත්වයකට පත්වූවාය. වසර දෙකකට පසුව වුවද ඇය තවමත් රෝහල් ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙම පවුල් තුනම නියෝජනය කරමින් Irwin Mitchell නීති ආයතනය Tui සමාගමට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටී. එහි නීතිඥ ජටින්දර් පෝල් පෙන්වා දෙන්නේ ඒරියෙලාගේ මරණයට මාස 18කට පෙර සිටම මෙම හෝටලයේ පවතින සෞඛ්‍ය අවදානම පිළිබඳව Tui සමාගම දැනුවත්ව සිට ඇති බවයි. විශේෂත්වය වන්නේ, 2017 වසරේදීද මෙම හෝටලයේදීම සැල්මොනෙල්ලා සහ ඊ-කෝලයි ආසාදනය වූ සංචාරකයින් 125 දෙනෙකු සඳහා රහසිගත වන්දි මුදල් ලබාගැනීමටද මෙම නීති ආයතනයම කටයුතු කර තිබීමයි. ඊට අමතරව කේප් වර්ඩ් (Cape Verde) හි සිදුවූ මෙවැනිම රෝගී තත්ත්වයන් මාලාවක් හේතුවෙන්ද Tui සමාගමට නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.



මෙම සිදුවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් Tui සමාගම ප්‍රකාශ කරන්නේ ඒරියෙලාගේ මරණය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බවයි. 2022 වසරේ සිට පාරිභෝගිකයින් 80,000ක් පමණ අදාළ හෝටලය වෙත යවා ඇති නමුත් ඉන් රෝගාතුර වී ඇත්තේ දළ වශයෙන් 0.3%ක් පමණක් බව ඔවුන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව ස්වාධීන සෞඛ්‍ය සහ ආරක්ෂණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය ඇතුළු අදාළ බලධාරීන්ට පූර්ණ සහය ලබාදෙන බවත් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ආතර්ගේ රෝගී තත්ත්වය පිළිබඳව මෑතක් වන තුරුම තමන්ව දැනුවත් කර නොතිබුණු බවද Tui ආයතනය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

uk-girl-dies-of-bacterial-infection-in-egyptian-hotel-sparks-controversy

uk-girl-dies-of-bacterial-infection-in-egyptian-hotel-sparks-controversy

uk-girl-dies-of-bacterial-infection-in-egyptian-hotel-sparks-controversy