යටියන්තොට, කොළඹ පරණ පාරේ සිරිවර්ධන විදුහල අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් උප පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ පුත්‍රයා බරපතළ තුවාල ලබා තිබේ. පසුගිය විසිපස්වනදා රාත්‍රී කාලයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව යටියන්තොට පොලිසිය වාර්තා කරයි.
අනතුරින් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ යටියන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ, ගරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි හොරවල අරුණ දීප්ති සෙනරත් ජයකොඩි නමැති උප පොලිස් පරීක්ෂකවරයාය.මෙම පොලිස් නිලධාරියා රාජකාරි විවේක කාලය තුළදී, කරවනැල්ල නගරයේ සිටි තම පුත්‍රයාව යටියන්තොට පිහිටි නිවස වෙත කැඳවාගෙන ඒම සඳහා යතුරුපැදියෙන් ගොස් ඇත. ඔවුන් දෙදෙනා යටියන්තොට නගරය ආසන්නයට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර, යතුරුපැදියේ ගැටුණු මෝටර් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි නිවසක් දෙසට පෙරළී ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පසුපස ගමන් කළ පුත්‍රයාව වහාම කරවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ. මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද එම රෝහලේදී ම සිදු කිරීමට කටයුතු ලෑස්ති කර තිබුණි. මේ අතර, අනතුර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ යටියන්තොට පොලිසිය විසින් මෝටර් රථය පදවාගෙන පැමිණි රියදුරාව අත්අඩංගුවට ගෙන ඇත. ඔහු දෙහිඕවිට, මාගම්මන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් රියදුරු අනතුර සිදුවන අවස්ථාවේදී බේබදුවද හෝ කිසියම් විෂ මත්ද්‍රව්‍යයක් භාවිත කර රථය පදවා තිබේද යන්න විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා ඔහුව අවිස්සාවේල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. යටියන්තොට පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක මහින්ද පද්මසිරි මහතාගේ සෘජු උපදෙස් හා මෙහෙයවීම මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරති.
