gammanpila

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායම රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ප්‍රංශයේ සංචාරයක නිරත වී ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. මාධ්‍ය වෙත විශේෂ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අසාද් මවුලානා නමැත්තා හමුවී කරුණු විමසීම සඳහා රහස් පොලිස් කණ්ඩායම මෙලෙස ප්‍රංශය බලා ගොස් ඇති බවත්, එහිදී ලබාගත් තොරතුරු අතිරේක සොලසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවත්ය.




මෙම විදේශ සංචාරය හරහා අදාළ නිලධාරීන් කණ්ඩායම අනාවරණය කරගෙන ඇතැයි කියන “ලොකුම තොරතුර” වන්නේ, 2015ත් 2020ත් අතර කාලය තුළ මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ව බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි යාම බව උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ එය අතිශයින්ම සාමාන්‍ය කරුණක් පමණක් වන බවයි. තමන් සේනාධිනායකයා ලෙස කටයුතු කරමින් ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ කරන සමයේදී ඊට තීරණාත්මක සහයක් දැක්වූ, එමෙන්ම තමන්ගේම ආණ්ඩුව යටතේ නැගෙනහිර පළාතේ ප්‍රථම මහ ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයකු ද වූ පිල්ලෙයාන් සිරගත කර සිටින අවස්ථාවක ඔහුව බැලීමට යාම සංවේදී හදවතක් ඇති ඕනෑම මනුෂ්‍යයෙකු සිදුකරන සාමාන්‍ය කටයුත්තක් බවද ඔහු කියා සිටියේය.

මෙම තොරතුර සනාථ කරගැනීම සඳහා මෙතරම් විශාල රාජ්‍ය මුදලක් වැය කරමින් ප්‍රංශය දක්වා යාමට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බව පවසන ගම්මන්පිල මහතා, බන්ධනාගාරයේ පවතින ‘විශේෂ අමුත්තන්ගේ පැමිණීම් සටහන් කිරීමේ පොත’ ගෙන්වා ගැනීමෙන් හෝ දැනට රැඳවුම් භාරයේ පසුවන පිල්ලෙයාන්ගෙන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමෙන් පමණක්ම මෙම කරුණ ඉතා පහසුවෙන් ලිඛිතවම තහවුරු කරගැනීමට අවස්ථාව තිබූ බවද සඳහන් කළේය.




අදාළ සිදුවීමට සම්බන්ධ අසාද් මවුලානා නමැත්තා මේ වන විට ජීවත් වන්නේ ස්විට්සර්ලන්තයේ බැවින්, ඔහුව හමුවීමට අවශ්‍ය නම් රහස් පොලිස් කණ්ඩායම යා යුතුව තිබුණේ ස්විට්සර්ලන්තයට මිස ප්‍රංශයට නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළේය. මේ හේතුව නිසා ශානි අබේසේකර මහතාට තමන්ගේ පෞද්ගලික වෛද්‍ය පරීක්ෂණයකට හෝ ප්‍රංශයේ සිටින ඥාති මිත්‍රයන් හමුවීමේ පෞද්ගලික අවශ්‍යතාවක් මත මෙම සංචාරය සැලසුම් කරන්නට ඇතැයි තමන්ට සාධාරණ සැකයක් මතුවන බවද හෙතෙම කියා සිටියේය. තවද, අසාද් මවුලානා දක්වන සාක්ෂි හුදෙක් වෙනත් අයෙකුගෙන් ඇසූ දේ පමණක් වන ‘ප්‍රවාද සාක්ෂි’ (Hearsay) ගණයට වැටෙන බැවින්, නීතිමය වශයෙන් ඒවායේ සාක්ෂිමය වටිනාකම ඉතා අවම මට්ටමක පවතින බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.