
ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට අදාළ පස්වැනි සහ හයවැනි සමාලෝචන අනුමත කිරීම පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා එම අරමුදලේ විධායක කමිටුව අද (27) රැස්වීමට නියමිතව තිබේ. මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ඇගයීමට ලක් කෙරෙන මෙම සමාලෝචන ද්විත්වයට විධායක කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක තවත් ණය වාරිකයක් හිමිවනු ඇත.
මෙලෙස නිදහස් කිරීමට නියමිත නවතම මූල්‍ය ප්‍රතිපාදන තොගය ලබන මාසයේ මුල් භාගය වන විට මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදල ද ඇතුළත්ව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ දක්වා ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති සමස්ත මූල්‍ය ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනු ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වන පස්වැනි සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එළැඹුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. එහෙත්, ඉන් අනතුරුව එනම් නොවැම්බර් මාසයේ අගභාගයේදී මෙරටට දැඩි බලපෑමක් එල්ල කරමින් 'දිට්වා' සුළි කුණාටුව කඩා වැදීම හේතුවෙන්, එම පස්වැනි සමාලෝචනය විධායක කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම තාවකාලිකව ප්‍රමාද කිරීමට මූල්‍ය අරමුදල පියවර ගත්තේය.
සුළි කුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට කඩිනම් සහනයක් සැලසීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කඩිනම් මූල්‍යකරණ මෙවලම යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 206ක ණය මුදලක් ලබාදීමට ද එකල කටයුතු කෙරිණි. ඉන් අනතුරුව, ප්‍රමාද වූ පස්වැනි සමාලෝචනය සහ හයවැනි සමාලෝචනය එක්වරම සම්පූර්ණ කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එම සමාලෝචන දෙකටම අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පසුගිය අප්‍රේල් මස 9 වැනිදා නිල වශයෙන් එළැඹුණි.
