බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සමඟ අමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වු කැමිලා විසින් නිව්යෝර්ක් මහජන පුස්තකාලය වෙත සුවිශේෂී ත්‍යාගයක් ලබා දී තිබේ. ඒ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් 'විනී ද පූ' (Winnie-the-Pooh) ළමා කතා මාලාවේ එන 'රූ' (Roo) නම් කුඩා කැන්ගරු චරිතය නියෝජනය කරන බෝනික්කෙකි.
බ්‍රිතාන්‍ය කොඩියකින් සරසා කුඩා කොට්ටයක් මත තබා තිබූ මෙම සෙල්ලම් බඩුව, ඇය විසින් පසුගිය 29 වැනිදා නිල වශයෙන් පුස්තකාලය වෙත භාර දෙන ලදී.මෙම ත්‍යාගය පිටුපස අපූරු ඓතිහාසික කතාවක් සැඟවී ඇත. ඒ. ඒ. මිල්න් නැමැති කතුවරයාට සිය කතා මාලාව නිර්මාණය කිරීම සඳහා ආභාසය ලබා දුන් මුල් සෙල්ලම් බඩු පහක් නිව්යෝර්ක් මහජන පුස්තකාලයේ දැනට ප්‍රදර්ශනයට තබා තිබේ. 1921 දී ලන්ඩනයේ හැරොඩ්ස් වෙළෙඳසැලෙන් මිල්න් විසින් තම පුත් ක්‍රිස්ටෝපර්ගේ පළමු උපන්දිනය වෙනුවෙන් මිලදී ගත් ටෙඩි බෙයාර් බෝනික්කා ඇතුළු මෙම සෙල්ලම් බඩු සියල්ල 1920 ගණන්වලදී ඔහුගේ ක්‍රීඩා භාණ්ඩ විය. පුතුගේ සෙල්ලම් කිරීම් ඇසුරින් පූ, කැන්ගා, රූ, ටිගර්, පිග්ලට් සහ ඊයෝර් වැනි චරිත බිහි වූ අතර, මෙම වසරට එම කෘතිය මුලින්ම ප්‍රකාශයට පත් කර වසර 100ක් ද සපිරෙයි.
කෘතිය ලොව පුරා ජනප්‍රිය වීමත් සමඟ අමෙරිකානු ප්‍රකාශකයෙකු විසින් මෙම චරිත සඳහා පාදක වූ මුල් සෙල්ලම් බඩු මිලදී ගන්නා ලදී. එහෙත් ක්‍රිස්ටෝපර් විසින් කුඩා කල පළතුරු වත්තකදී 'රූ' සෙල්ලම් බඩුව අස්ථානගත කර තිබූ බැවින්, අමෙරිකාවට රැගෙන යාමට හැකි වූයේ පූ, කැන්ගා, ටිගර්, පිග්ලට් සහ ඊයෝර් යන බෝනික්කන් පමණි. 1998 වසරේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙම සෙල්ලම් බඩු යළිත් බ්‍රිතාන්‍යයට ලබා දෙන ලෙස ඉල්ලා සිටියද, එවකට නිව්යෝර්ක් නගරාධිපති රූඩි ජියුලියානි එය තරයේ ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, දශක ගණනාවක අඩුවක් පුරවමින් කැමිලා රැජින විසින් ලබා දුන් නව 'රූ' බෝනික්කාත් සමඟ නිව්යෝර්ක් මහජන පුස්තකාලයේ 'විනී ද පූ' එකතුව සම්පූර්ණ වී තිබේ.
මේ අතර, තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින එදිනම මෑන්හැටන් හි පිහිටි 9/11 ස්මාරකය සහ කෞතුකාගාරය වෙතද ගොස් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් හමු වී මල් උපහාර දැක්වූහ. නිව්යෝර්ක් නගරාධිපති සෝරාන් මම්දානි සහ ආණ්ඩුකාර කැතී හෝචුල් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. මෙවැනි ශෝකජනක ස්ථානවලදී ප්‍රසිද්ධ කතා පැවැත්වීමෙන් වැළකී සිටීමේ සම්ප්‍රදායට ගරු කරමින් රාජකීය යුවළ එහිදී කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළේ නැත.
එසේ වුවද, නගරාධිපති මම්දානි එහිදී චාල්ස් රජු සමඟ කෙටි කතාබහක නිරත විය. ඔහු මීට පෙර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ රජු හමු වූ විට 'කෝ-ඉ-නූර්' දියමන්තිය යළි ලබා දෙන ලෙස තමා දැඩිව ඉල්ලා සිටින බවයි. 19 වැනි සියවසේදී බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු සමාගම විසින් පන්ජාබය ඈඳාගැනීමේදී අත්පත් කරගෙන වික්ටෝරියා රැජිනට ලබා දුන් කැරට් 105.6කින් යුත් මෙම දියමන්තිය බ්‍රිතාන්‍ය යටත් විජිත සූරාකෑමේ සංකේතයක් ලෙස සැලකෙන අතර, ඉන්දියාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කිහිපයක්ම එයට හිමිකම් කියයි. ඉන්දියානු සම්භවයක් සහිත දෙමව්පියන්ට දාව හිටපු බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ උගන්ඩාවේ උපත ලැබූ මම්දානිගේ මෙම ස්ථාවරය මේ වන විටත් දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.
