china-who-stole-the-handbag-containing-9900-was-arrested-in-katunayake

අබුඩාබි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළදී රුසියානු ජාතිකයෙකුගේ අත් බෑගයකින් අමෙරිකානු ඩොලර් 9,900ක මුදලක් සොරකම් කළ බවට සැකකෙරෙන චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ තිස් එකකට අධික වටිනාකමකින් යුත් මෙම මුදල කොල්ලකා ඇති සැකකරු, කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි කැසිනෝ ශාලාවක රැඳී සිටියදී මෙලෙස නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මෙහිදී අගතියට පත්ව ඇත්තේ රුසියානු සමූහාණ්ඩුවට අයත් ප්‍රධාන සංක්‍රමණික වෛද්‍යවරයෙකි.




පසුගිය 30 වැනිදා අලුයම 3.00 ට පමණ කටුනායකට ගොඩබස්වන ලද ඉටිහාඩ් ගුවන් සේවයට අයත් ඊ.වයි.- 394 දරන යානය තුළ මෙම සොරකම සිදුවී ඇත. අදාළ රුසියානු වෛද්‍යවරයා ගුවන් ගමන අතරතුර නිදාගෙන සිටියදී, ගමන් මලු රඳවන රාක්කයේ තිබූ ඔහුගේ අත් බෑගයෙන් සැකකාර චීන ජාතිකයා විසින් මෙම මුදල් සොරාගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණීමෙන් පසු තම බෑගයේ මුදල් නොමැති බව අවබෝධ කරගත් වෛද්‍යවරයා, එදිනම අලුයම 4.00 ට පමණ ගුවන් තොටුපොළ පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.

ලැබුණු පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ගුවන් තොටුපොළේ ආරක්ෂක කැමරා පද්ධතිය දැඩි පරීක්ෂාවකට ලක් කර තිබේ. එහිදී, අදාළ ගුවන් යානයෙන් පැමිණි එකම චීන ජාතිකයා වූ මෙම පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස ආරක්ෂක කැමරා මඟහරිමින් ගුවන් තොටුපොළෙන් පිටව ගොස් කුලී රථයකින් පලා යන අයුරු නිරීක්ෂණය කිරීමට පොලිසියට හැකි වී ඇත. අනතුරුව එම කුලී රථ සේවා කවුන්ටරය හරහා සැකකරු ගමන් කළ ගමනාන්තය නිශ්චිතවම හඳුනාගැනීමට විමර්ශකයන් කටයුතු කර තිබේ.




ඒ අනුව වහාම කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි අදාළ කැසිනෝ ශාලාව වෙත ගිය පොලිස් කණ්ඩායම, එහි ආරක්ෂක කැමරා ද පරීක්ෂා කිරීමෙන් පසු 49 හැවිරිදි මෙම චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට මහතාගේ සෘජු උපදෙස් සහ අධීක්ෂණය යටතේ මෙම වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක විය. ප්‍රධාන පොලිස් පරීක්ෂක ජීවරත්න, පොලිස් පරීක්ෂක මධුසංඛ, බුද්ධි නිලධාරී මංජුල ඇතුළු පොලිස් කොස්තාපල්වරුන් වන වික්‍රමසිංහ (102313) සහ මධුසංඛ (27167) විසින් අදාළ වැටලීම සිදු කර ඇති අතර, සැකකරු 01 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.