රුපියල් ලක්ෂ 4190ක දේශීය ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී සිටින ප්‍රකට නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ විරංජිත් තාබුගල යන අයට එරෙහිව පවරා ඇති පැමිණිලි දෙක, නීතිපති උපදෙස් ලැබෙන තෙක් බහා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා නියෝග කළේය.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩු පවරා තිබුණේ අදාළ වගඋත්තරකරුවන් දෙදෙනා රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැර ඇති බවට කරුණු ඉදිරිපත් කරමිනි. එහිදී වගඋත්තරකාර පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 2250ක මුදලක් සහ විරංජිත් තාබුගල රුපියල් ලක්ෂ 1940ක මුදලක් වශයෙන් රජයට ලැබිය යුතු විශාල බදු මුදලක් ගෙවීම මඟහැර ඇති බවට පැමිණිල්ල මගින් චෝදනා කර තිබේ.
මෙම නඩු ඊයේ (30) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවයි. එම විමර්ශනවලට අදාළ උධෘත ගොනු ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් වන නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් නීතිඥවරයා එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් මෙම පැමිණිලි තාවකාලිකව බහා තැබීමට නියෝග කළ අතර, එම උපදෙස් ලැබුණු පසුව නඩුවේ ඉදිරි කටයුතු තීරණය කිරීමට නියම විය.
