indonesias-central-bank-governor-has-been-asked-to-resign-due-to-the-fall-in-the-value-of-the-rupiah

ඉන්දුනීසියානු රුපියා අගය වාර්තාගත ලෙස පහත වැටීමත් සමඟ එරට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, මහ බැංකු අධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටද බලපෑම් එල්ල වෙමින් පවතී. පසුගිය සතියේදී ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව ඉන්දුනීසියානු රුපියා අගය 17,600ක් ලෙස සටහන් වූ අතර, එය 1998 වසරේ පැවති ආර්ථික අර්බුදයේදී සටහන් වූ 16,800ක සීමාවද ඉක්මවා යාමක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය හමුවේ ඉන්දුනීසියානු මහ බැංකුවේ අධිපති පෙරී වර්ජියෝ පාර්ලිමේන්තුව හමුවේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වූ අතර, ජාතික විධායක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රිමස් යුස්ටිසියෝ විසින් ඔහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස සෘජුවම යෝජනා කර තිබේ.




කෙසේ වෙතත්, ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ සහ ඔහුගේ පරිපාලනය මෙම අර්බුදය සුළුකොට තකන ස්වභාවයක් පෙන්නුම් කරන අතර, රටේ මූලික ආර්ථික පදනම තවමත් ශක්තිමත්ව පවතින බව ප්‍රකාශ කර ඇත. පසුගියදා නැගෙනහිර ජාවා ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ගම්බද ජනතාව ඩොලර් භාවිතා නොකරන බැවින් සහ රටේ ආහාර හා බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වී ඇති බැවින් කලබල වීමට කරුණක් නොමැති බවයි. නමුත් පසුව මුදල් අමාත්‍ය පුර්බයා යුධි සාදෙවා ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය තරමක් සමනය කරමින්, එය හුදෙක් ජනතාවගේ මානසිකත්වය නංවාලීම සඳහා කළ ප්‍රකාශයක් පමණක් බවත් රජය මෙම තත්ත්වය සැහැල්ලුවට ගෙන නොමැති බවත් පැහැදිලි කළේය.

ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම්වලට ප්‍රතිචාර ලෙස ඉන්දුනීසියානු සමාජ මාධ්‍ය තුළ උපහාසාත්මක වීඩියෝ සහ මීම්ස් (memes) විශාල වශයෙන් නිර්මාණය වන්නට විය. මිලියන ගණනක් නැරඹූ නුසුලියා රහ්මා සහ රාකා ඩියොන් වැනි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ වීඩියෝ මගින් ගම්බද ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු උපහාසයට ලක් කර තිබුණි. ආර්ථික හා නීති අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ භීමා යුධිස්ටිරා පෙන්වා දෙන්නේ, ගම්බද ජනතාව ඩොලර් භාවිතා නොකළද, ඔවුන් පරිභෝජනය කරන ටෙම්පේ සහ ටෝෆු වැනි දේශීය ආහාර නිෂ්පාදනය සඳහා ආනයනික සෝයා බෝංචි භාවිතා කරන බැවින් මෙම මුදල් අවප්‍රමාණය වීම සෘජුවම ඔවුන්ටද බලපාන බවයි. ඊට අමතරව, දේශීය ගොවීන් භාවිතා කරන පළිබෝධනාශක සහ පොහොරද ආනයනය කරන බැවින් සාමාන්‍ය ජනතාවට දෛනික ජීවිතයේදී මෙම අර්බුදයේ ඍණාත්මක ප්‍රතිවිපාක දැනටමත් දැනෙමින් පවතී.




මෙම අර්බුදය හමුවේ ඇති වූ එකම ධනාත්මක ප්‍රතිඵලය ලෙස විදේශීය සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ඉන්දුනීසියානු සංචාරක අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි. විශේෂයෙන්ම සිංගප්පූරු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 13,700ක් දක්වා ඓතිහාසික ලෙස පහත වැටීම හේතුවෙන් 2026 වසරේ පළමු කාර්තුව තුළ සමස්ත විදේශ සංචාරකයින්ගේ පැමිණීම 8.6% කින්ද, සිංගප්පූරු සංචාරකයින් බටම් වැනි ප්‍රදේශවලට පැමිණීම 10.4% කින්ද ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ආර්ථික විශේෂඥයින් අවධාරණය කරන්නේ රුපියල මෙලෙස අවප්‍රමාණය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ආයෝජකයින් තුළ පවතින දැඩි අවිශ්වාසය බවයි. විශේෂයෙන්ම පාසල් සිසුන්ට නොමිලේ ආහාර ලබාදීමේ වැඩසටහන් වැනි රජයේ ජනප්‍රියවාදී ප්‍රතිපත්ති හේතුවෙන් අයවැය හිඟය පුළුල් වීම මීට බලපා ඇති බවත්, නැවතත් එම විශ්වාසය දිනා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිවල විනිවිදභාවය තහවුරු කළ යුතු බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.