a-brother-was-arrested-on-suspicion-of-the-death-of-the-victim-who-fell-on-the-ground-for-two-days-after-being-beaten

පුද්ගලයකුට දරුණු ලෙස පහර දී දින දෙකක් තිස්සේ බිම වැටී සිටීමට සලස්වා, පසුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගෙන් අයෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස සාහසික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෑලියගොඩ, නෙල්ලිගහවත්ත, මීගමුව පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි සමන් පාලිත කුමාරසිංහ නමැති අයෙකි.

පහරදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව දින 23ක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා පසුගියදා ජීවිතක්ෂයට පත්ව ඇත.




පොලිස් විමර්ශනවලට අනුව, ඉකුත් අප්‍රේල් මස 23 වැනිදා මත්පැන් පානය කර සිටි මරණකරු සහ සැකකරුගේ මව අතර යම් බහින්බස් වීමක් සිදුව තිබේ. එම අවස්ථාවේදී අදාළ කාන්තාවගේ පුතුන් දෙදෙනා මැදිහත් වී මරණකරුට දරුණු ලෙස පහර දී ඇති බව හෙළි වී ඇත. ප්‍රහාරයේ බරපතළකම හේතුවෙන් නැගිට ගැනීමට පවා නොහැකි වූ මෙම පුද්ගලයා දින දෙකක් තිස්සේ එම ස්ථානයේම වැටී සිට ඇති අතර, පසුව අප්‍රේල් මස 25 වැනිදා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මේ මස 17 වැනිදා මරණයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව, මෙය මනුෂ්‍ය ඝාතනයක් ලෙස ලේඛනගත කරමින් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව ලද තොරතුරු මත පහරදීමට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස්, පර්ගියුසන් පාරේ පිහිටි මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.




මෙම අපරාධයට සම්බන්ධ අනෙක් සැකකරු වන අත්අඩංගුවට ගත් තරුණයාගේ සහෝදරයා ද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතාගේ සෘජු උපදෙස් හා මෙහෙයවීම මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.