the-mother-and-daughter-boxed-up-items-from-gold-shops-around-the-country

පසුගිය 12 වැනිදා දෙහිවල පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් වලල්ලාවිට ප්‍රදේශයේදී සැකකාර මවක සහ ඇයගේ බාලවයස්කාර දියණියක අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙහිවල ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට පැමිණ, රන් භාණ්ඩ මිලදී ගන්නා බවට මවාපාමින් සැබෑ රන් මුදුවක් වෙනුවට ව්‍යාජ මුදුවක් මාරු කර පලාගොස් සැඟවී සිට ඇති බව පොලීසිය පවසයි.




මෙසේ නීතියේ රැහැනට කොටුවූ ප්‍රධාන සැකකාරිය වලල්ලාවිට ප්‍රදේශයේම පදිංචිකාරියක වන අතර ඇය තිස්තුන් හැවිරිදි වියේ පසුවන්නියකි. මෙම සොරකම් සඳහා ඇය සමග සම්බන්ධ වී ඇති ඇයගේ දියණියගේ වයස අවුරුදු පහළොවක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම මව සහ දියණිය එක්ව දිවයින පුරා විවිධ ප්‍රදේශවල පිහිටි රන් භාණ්ඩ අලෙවිසැල් ඉලක්ක කරගනිමින් මෙවැනිම සොරකම් රැසක්ම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මීට පෙර හොරණ නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන්ද මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව දැනට ඇප මත මුදාහැර සිටින අයෙකු බව තහවුරු වී ඇත. මීට අමතරව, අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොරටුව ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකට ද ඇතුළු වී මීට සමාන ආකාරයේම සොරකමක් සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.