a-wild-elephant-which-had-killed-eight-was-killed-by-its-tusks

නාන්නේරිය, නාහෙට්ටිකුලම කැලෑබද ප්‍රදේශයේ දළ ඇතෙකු සහ වන අලියෙකු අතර දින තුනකට අධික කාලයක් පුරා පැවති දරුණු සටනකින් පසු, වන අලියා මියගොස් සිටියදී ඊයේ (26) දහවල් සොයාගෙන තිබේ. වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව මෙම සිරුර සොයාගෙන ඇත්තේ සතුන් දෙදෙනා අතර පැවති ගැටුමෙන් වන අලියා බරපතළ ලෙස පහර කෑමට ලක්වීමෙන් පසුවය.




කැලෑව තුළ මෙම සතුන් දෙදෙනා එකිනෙකාට පහර දෙමින් සිටින අයුරු දුටු ගම්වාසීන් ඒ පිළිබඳව වහාම වනජීවී බලධාරීන්ට දන්වා ඇත. ඉන් අනතුරුව ගම්මුන් සහ වනජීවී නිලධාරීන් එක්ව සතුන් දෙදෙනා අවස්ථා කිහිපයකදීම කැලෑව දෙසට පළවා හැරීමට කටයුතු කර තිබුණද, ඔවුන් නැවතත් පැමිණ එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන ඇති බව පොලිසිය පවසයි. වන අලියා මියගොස් සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු නාන්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දීපාල් විජේසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සහ ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන කටයුතු සිදු කර තිබේ.

දළ ඇතාගේ ප්‍රහාරයන්ට ලක්ව මියගිය වන අලියාගේ ශරීරයේ දරුණු තුවාල දහයකට ආසන්න සංඛ්‍යාවක් දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කරයි. මෙලෙස මරණයට පත්ව ඇති වන අලියා පසුගිය කාල වකවානුව පුරා නාන්නේරිය පහ සහ ඒ අවට ප්‍රදේශවල සැරිසරමින් වරින් වර පුද්ගලයන් අට දෙනෙකු පමණ පහරදී ඝාතනය කර ඇති බව ගම්වැසියන් විසින් පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත. ඊට අමතරව එම වන අලියා විසින් ප්‍රදේශයේ නිවාස රැසක් මෙන්ම වගාබිම් ද විශාල වශයෙන් විනාශ කර දමා තිබූ බව ගම්මුන් පවසති.




මේ වන විට ගල්ගමුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත. මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ද වනජීවී බලධාරීන් විසින් අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් පවතී.