the-country-is-at-risk-of-bankruptcy-again---sajith

ශ්‍රී ලංකාව නැවත වරක් බංකොලොත් වීමේ බරපතළ අවදානමකට මුහුණ දී සිටින බැවින්, රජය සිය උදම් ඇනීම් පසෙකලා අයි.එම්.එෆ්. හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඊළඟ අනුප්‍රාප්තික ගිවිසුමකට කඩිනමින් යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

කොළඹ පිහිටි සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී පැවැති එම පක්ෂයේ ගුරු සංගමය පිහිටුවීමේ මූලික සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.




වත්මන් ජනාධිපතිවරයා දිවයින පුරා සංචාරය කරමින් රටේ කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බව පෙන්වීමට උත්සාහ කරන අතර, ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් ඩොලර් සංචිත පවතින බව පවසයි. කෙසේ වෙතත්, වත්මන් සංඛ්‍යා ලේඛන මඟින් රට පත්ව ඇති සැබෑ අවදානම් සහගත තත්ත්වය මනාව පැහැදිලි වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. රට සතුව ඩොලර් බිලියන 7ක සංචිත පවතින බවට රජය ප්‍රකාශ කළද, එම සංචිත අතර ඇති චීන යුආන් බිලියන ගණනක මුදල් භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින් සැබෑ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හතට වඩා බෙහෙවින් අඩු බව ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන්ට අනුව ඕනෑම රටක විදේශ සංචිත අවම වශයෙන් මාස තුනක ආනයන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් විය යුතු වුවද, ශ්‍රී ලංකාවට මේ වන විට එවැනි පසුබිමක් නොමැත. මෙරට මාසික ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් වන අතර, වත්මන් තත්ත්වය යටතේ ඉදිරි මාස තුනක ආනයන පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් විදේශ සංචිතයක් රට තුළ නොමැති බව හෙතෙම පැහැදිලි කළේය. මේ වන විට රටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් දක්වා වර්ධනය වී තිබුණද, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත් එය මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයිද ඔහු අනතුරු ඇඟවීය.




මැදපෙරදිග කලාපයේ ආර්ථිකය බිඳවැටීමට ලක්වුවහොත් එහි සේවය කරන ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් පවතින නමුත් රජය මේ පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බව විපක්ෂ නායකවරයා චෝදනා කළේය. පසුගිය 2022 වසරේ කොරෝනා වසංගත සමයේදී ඉන්දියාව වැනි අසල්වැසි රටවල් ශ්‍රී ලංකාවට විවිධ ආධාර උපකාර ලබා දුන්නද, වර්තමානයේ පවතින ගෝලීය හා දේශීය ආර්ථික අර්බුද හමුවේ එවැනි ආධාර ලබාගැනීමේ අවස්ථාවද මෙරටට අහිමි වී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය රටේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳව එරට ජනතාව නිවැරදිව දැනුවත් කර ඇති නමුත්, මෙරට පාලකයන් තවමත් එවැනි විනිවිදභාවයකින් කටයුතු කර නොමැති බැවින් රටේ පවතින සැබෑ යථාර්ථය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ජනතාවට අයිතියක් ඇති බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.