150-schoolgirls-with-meningitis-have-been-met---one-girl-is-serious

දිවයිනේ ප්‍රදේශ රැසකින් මෙනින්ජයිට්ස් හෙවත් මොළේ උණ රෝගය වැළඳුණු පාසල් සිසු සිසුවියන් එකසිය පනහකට ආසන්න පිරිසක් ඊයේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම රෝගීන් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මධ්‍යම පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව හැටකට අධිකය.

ඉන් රෝගීන් තිස්පස් දෙනෙකුම බදුල්ල, වැලිමඩ, දියතලාව සහ ඌව පරණගම හිබිලියගහ මඩිත්ත යන රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.




මේ අතර මොළේ උණ වැළඳීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ එකොළස් හැවිරිදි පාසල් සිසුවියක බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වාර්තා වේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඌව පරණගම රෝහලේ නව හැවිරිදි සිසුවියකද, වැලිමඩ මූලික රෝහලේ සිසුන් හතක් සහ සිසුවියන් නව දෙනෙකුද, දියතලාව මූලික රෝහලේ තවත් සිසු සිසුවියන් දහහත් දෙනෙකුද මේ වන විටත් මෙම රෝගී තත්ත්වය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි.

මීට අමතරව රිකිල්ලගස්කඩ රෝහලෙන්ද මොළේ උණ වැළඳුණු සහ එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් විසිපස් දෙනෙකු වාර්තා වී තිබේ. මෙම පිරිස අතර පාසල් දරුවන් රැසක් සිටින අතර ඔවුන්ගේ රෝගී තත්ත්වය නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා විශේෂ වෛද්‍ය පරීක්ෂණ මාලාවකට භාජනය කිරීමට නියමිතව ඇත.




තද උණ, හිසරදය, ක්ලාන්ත ගතිය, ආලෝකය දෙස බැලීමට ඇති අපහසුතාව, වමනය සහ ඔක්කාරය සමඟ සම මතුපිට කුඩා බිබිලි මතු වීම මෙනින්ජයිට්ස් හෙවත් මොළේ උණ රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ. යම් හෙයකින් දරුවෙකු හෝ වෙනත් අයෙකු කෙරෙන් මෙවැනි රෝග ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම්, වහාම ක්‍රියාත්මක වී ළඟම ඇති රෝහල වෙත යොමු කරන ලෙසත්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

රට තුළ මෙවැනි අවදානම් සහගත රෝග ව්‍යාප්තියක් පවතින පසුබිමක, කොළඹ වසංගත රෝග විද්‍යා අංශය මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත. එමෙන්ම මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු පියවර ඇතුළත් නිල උපදෙස් මාලාවක් හෝ මෙතෙක් මහජනතාව වෙත නිකුත් කිරීමට වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කර නොමැති බවද වාර්තා වේ.