a-dead-body-of-a-woman-in-a-land-in-aheliyagoda

ඊයේ (2025.05.04) පෙරවරුවේ ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ඇහැලියගොඩ පොලිසිය විසින් සිය පොලිස් බලප්‍රදේශයට අයත් පැවිල්ල ග්‍රාමයේ ඉඩමක තිබී කාන්තා මළ සිරුරක් සොයාගනු ලැබීය. මූලිකව හඳුනා නොගත් සිරුරක් ලෙස වාර්තා වුවද, පසුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වූයේ මියගොස් ඇති තැනැත්තිය කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතළිස් එකක කාන්තාවක් බවයි.




මෙම මරණය කෲර මනුෂ්‍ය ඝාතනයක් බවට මේ වන විටත් තහවුරු වී තිබේ. පොලිසිය විසින් මෘත දේහය සම්බන්ධයෙන් සිදුකළ මූලික නිරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ ඇයගේ සිරුරේ ස්ථාන කිහිපයකම බරපතළ කැපුම් තුවාල පවතින බවයි.

කෙසේ වෙතත්, මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු නිශ්චිත හෝඩුවාවක් ආරක්ෂක අංශ වෙත ලැබී නැත. සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම උදෙසා විශේෂ පොලිස් මෙහෙයුමක් මේ වන විටත් දියත් කර ඇත.




සොයාගත් මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇත. සිද්ධියට මුල් වූ හේතුව සහ අපරාධකරුවන් සොයා ඇහැලියගොඩ පොලිසිය මගින් තවදුරටත් පුළුල් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.