
කොස් ගෙඩියක් කැඩීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, සිය දියණියට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කළ පියෙකු කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඛේදවාචකයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තිළිණි මධුෂාණී නැමති එක්දරු මවකි.
සැකකාර පියා කළුතර උතුර ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය තහවුරු කරයි.පොලිස් විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ දියණිය සහ සැකකාර පියා මීට පෙර කළුතර උතුර ප්‍රදේශයේ යාබද නිවාස දෙකක ජීවත් වී ඇති බවයි. කෙසේ වෙතත්, මොවුන් දෙදෙනා අතර කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් දියණිය සිය සැමියා සහ කුඩා දියණිය සමඟ වස්කඩුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචියට ගොස් ඇත. දියණිය කලින් පදිංචිව සිටි ඉඩමේ පිහිටි කොස් ගසකින් පියා විසින් කොස් ගෙඩියක් කඩා ඇති අතර, ඒ පිළිබඳව අසල්වැසියෙකු විසින් දුරකථන ඇමතුමක් මගින් දියණියට දැනුම් දී තිබේ.
එම දැනුම්දීමත් සමඟ දියණිය වහාම අදාළ ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී පියා සහ දියණිය අතර දැඩි ගැටුමක් හටගෙන ඇත. මෙම අවස්ථාවේදී කෝපයට පත් සැකකරු නිවසේ තිබූ යකඩ උලක් රැගෙන දියණියගේ හිසට පහර දී ඇති බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණ මගින් හෙළි වී තිබේ. ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව, පහර දීමට යොදාගත් යකඩ උල ද සමඟ සැකකාර පියා කළුතර උතුර පොලිසිය වෙත පැමිණ භාර වී ඇත.
