batuwatte-chamara-arrested-in-azerbaijan-to-sri-lanka

ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන "බටුවත්තේ චාමර" හෙවත් මනෝජ් සුරංග ලියනගේ නම් සැකකරු අසර්බයිජානයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඊයේ (මැයි 10) රාත්‍රියේදී යළි ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.




රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 48 හැවිරිදි මෙම පුද්ගලයා කාලයක් තිස්සේ ආරක්ෂක අංශ මඟහරිමින් විදේශගතව සැඟවී සිට ඇත. පොලිස් විමර්ශනවලට අනුව, ඔහු දීර්ඝ කාලයක් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට ඇති අතර, මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පලා ගොස් තිබියදී එරට ආරක්ෂක අංශ විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය මැයි 07 වැනිදා අසර්බයිජානය බලා පිටත්ව ගියහ. ඒ අනුව, ඔවුන්ගේ භාරයට ගත් සැකකරු ඩුබායි සහ ඉන්දියාව හරහා ඊයේ රාත්‍රී 10.10 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇත.




ශ්‍රී ලංකාව තුළ සිදුවූ ආන්දෝලනාත්මක සංවිධානාත්මක අපරාධ කිහිපයකම ප්‍රධාන සැකකරුවෙකු ලෙස මොහු පොලිස් පොත්වල සටහන්ව තිබේ. තුසිත හල්ලොළුව මහතාට පහරදීමේ සිද්ධියට මෙන්ම, "ගණේමුල්ල සංජීව" ඝාතනය කිරීම සඳහා ගිනි අවියක් සැපයීමේ චෝදනාව ද ඔහුට එල්ල වී ඇත. ඊට අමතරව, මෙරට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රබලයෙකු ලෙස ද මොහු කටයුතු කර තිබේ. ගුවන් තොටුපළ වෙත රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත රැගෙන ගොස් ඇත.

batuwatte-chamara-arrested-in-azerbaijan-to-sri-lanka