kapila-chandrasenas-suspicious-death-transfers-probe-to-ccd

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකසහිත මරණය සම්බන්ධයෙන් වූ පුළුල් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත පවරා තිබේ. කොල්ලුපිටිය ප්‍රේදිස් පාරේ පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් දෙමහල් නිවසක උඩුමහලේ කාමරයක් තුළදී ඔහුගේ මෘත දේහය සැකකටයුතු අයුරින් සොයාගැනීමත් සමඟ පොලීසිය මෙම තීරණයට එළඹ ඇත.




මෙම මරණයට හේතුව නිශ්චිතවම අනාවරණය කරගැනීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතර, ඔවුන් විසින් පෙරේදා (09) පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලදී. එහිදී ලබාගත් රුධිරය, මුත්‍රා, පටක, අභ්‍යන්තර අවයව සහ නියපොතු ආදී සියලුම ශරීර කොටස් වැඩිදුර රසායනාගාර විශ්ලේෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිවේදී සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා සඳහන් කළේ රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් කරනු ඇති බවයි.

මියගිය කපිල චන්ද්‍රසේන මහතා මීට පෙර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී සිදු වූවා යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. ඔහු පසුගිය සතියේ අධිකරණයෙන් ඇප ලබා නිදහස් වූවද, ඒ සඳහා ඉදිරිපත් වූ ඇපකරුවන් මුදලට ලබාගත්, ඔහු හා කිසිදු සබඳතාවක් නොමැති පුද්ගලයන් දෙදෙනෙකු බව පසුව අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී අදාළ ඇපකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර, මුදල් ලබාගත් නිසා පමණක් තමන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ බව ඔවුහු පොලීසිය හමුවේ පාපොච්චාරණය කළහ.




මෙම ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමේ සිද්ධිය පදනම් කරගනිමින්, අල්ලස් කොමිසම පසුගිය 07 වැනිදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහුගේ ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ අනුව අධිකරණය විසින් චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනු ලැබූ අතර, ඔහුගේ මළසිරුර හමුවන්නේ එම නියෝගය ලබාදී පැය 24ක් ගතවීමටත් ප්‍රථමයෙන් වීම විශේෂත්වයකි. විමර්ශනවලින් හෙළි වී ඇති පරිදි, අධිකරණ නියෝගය නිකුත් වූ 07 වැනිදා ඔහු කොල්ලුපිටියේ පිහිටි අදාළ නිවසේ සිට නීතිඥවරුන් මුණගැසීමට බව පවසා ත්‍රිරෝද රථයකින් පිටව ගොස් බොහෝ වේලාවකට පසු නැවත නිවසට පැමිණ තිබේ.

පසුදින එනම් 08 වැනිදා නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වීමට ඔහු සූදානමින් සිට ඇති අතර, ඒ සඳහා අදාළ නීතිඥවරයා නිවසට පැමිණි අවස්ථාවේදී චන්ද්‍රසේන මහතා මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇත. මරණය සිදුව ඇති ආකාරය පිළිබඳව විමර්ශන නිලධාරීන්ට මතු වූ දැඩි සැකය මත මේ වන විට අරවින්ද ද සිල්වා මහතාගෙන්, ඔහුගේ බිරිඳගෙන් සහ නිවසේ සිටි තවත් කිහිප දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීට අමතරව, මියගිය කපිල චන්ද්‍රසේන මහතා භාවිත කළ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු අවසන් වරට සම්බන්ධ වූ දුරකථන ඇමතුම් ඔස්සේ පුළුල් තාක්ෂණික විශ්ලේෂණයක් ද ක්‍රියාත්මක බව පොලීසිය වැඩිදුරටත් තහවුරු කරයි.