atamasthanadipati-22-in-the-court---the-minister-says-that-she-is-standing-for-the-girl

අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමට අදාළව චෝදනා ලබා සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් එළඹෙන 22 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න මහතා විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගයකට අනුව මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර හිමියන්, කොළඹ පෞද්ගලික රෝහලක සිට ජාතික රෝහල වෙත මාරු කරනු ලැබුවේ ද එම අධිකරණ නියෝග මතම වන අතර, උන්වහන්සේ මේ වන විට එහි වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබමින් පසුවන බව බන්ධනාගාර නිලධාරීන් විසින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා හරහා අධිකරණයට වෛද්‍ය වාර්තා මගින් තහවුරු කර ඇත.




මේ අතර මුදල් ලබාගැනීමේ චේතනාවෙන් තම බාලවයස්කාර දියණිය දූෂණය කිරීම සඳහා සැකකාර හිමියන්ට ලබා දුන්නේ යැයි කියන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දැරියගේ මව වෙනුවෙන් ඇගේ නීතිඥ ප්‍රදීප් දිසානායක මහතා විසින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් තරයේ ප්‍රතික්ෂේප කළ අතර, ඇයව ද 22 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කෙරිණි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත්, ඒ පිළිබඳ වැඩිදුර වාර්තා සහ උදෘත නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා යොමු කර ඇති බවත් නිට්ටඹුව පොලිසිය විසින් ඉකුත් 15 වැනිදා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.

සැකකාර හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ඇතුළු විස්සකට ආසන්න නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර, තම සේවාදායකයා වෙනුවෙන් එදින ඇප ඉල්ලීමක් සිදු නොකරන බවත්, විමර්ශන කඩිනම් කරන ලෙස පොලිසියට නියෝග කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් නිට්ටඹුව සහ අනුරාධපුර පොලිස් ස්ථානවල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ ළමා හා කාන්තා කාර්යාංශවල නිලධාරීන් පෙනී සිටි නමුත්, වින්දිත දැරිය වෙනුවෙන් කිසිදු බාහිර නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී නොසිටීම විශේෂත්වයක් විය.




මෙම තත්ත්වය සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන කටකතා නිවැරදි කරමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ, මෙවැනි සිදුවීම්වලදී වින්දිතයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමේ ආචාරධර්ම මත පිහිටා අමාත්‍යාංශය කටයුතු කරන බවයි. මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය ලෙස පොලිසිය හෙවත් රජය ක්‍රියා කරන බැවින් දැරිය වෙනුවෙන් වෙනම නීතිඥයෙකු ඉදිරිපත් නොවීම නඩුවේ ස්වභාවය අනුව ගැටලුවක් නොවන බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. සාක්ෂි සටහන් කරගැනීම සහ ස්ථාන පරීක්ෂාව ඇතුළු සියලු කටයුතු රජය නියෝජනය කරමින් පොලිසිය විසින් සිදුකර ඇති බවත්, ළමා ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන් මෝසමක් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරිය, දැරියගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිපතිවරයාගේ මැදිහත්වීම ද ඉල්ලා ඇති බව තවදුරටත් ප්‍රකාශ කර සිටියාය.