ගම්පොළ, නාරන්විට ආඩියාකඩවත පිහිල්ලදෙනිය ප්‍රදේශයේදී නිවසක සොල්දරයකින් වැටුණු පියෙකුගේ සිරුරට යටවීමෙන් තුන් හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්වීමේ අතිශය ශෝචනීය පුවතක් වාර්තා වේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් අයාද් නැමැති කුඩා පිරිමි දරුවෙකි.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවාගේ පියා වන මොහොමඩ් ස්ටිකා සාජින් අලි මේ වන විට ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අන්දමට, මෙම පියා සිය මහගෙදරට යාබදව පදිංචිව සිටින අයෙකි. පෙරදින පෙරවරුවේ සිය යතුරුපැදිය සේදීම සඳහා අවශ්‍ය වූ ජල බටයක් රැගෙන ඒමට ඔහු මහගෙදරට ගොස් තිබේ. එම ජල බටය නිවසේ සොල්දරය මත දමා තිබූ බැවින් එය ගැනීම සඳහා ඔහු ඉනිමඟක් ආධාරයෙන් ඉහළට නැග සොල්දරයේ වූ ලෑල්ලක් මතට පාදය තබා ඇත. එහිදී එක්වරම එම ලෑල්ල කඩාගෙන පහළට වැටී ඇති අතර, ඒ මොහොතේ ඔහුට පහළින් සිටි කුඩා දරුවාගේ සිරුර මතට පියාගේ සිරුර පතිත වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මිදුලේ සෙල්ලම් කරමින් සිටි දරුවා, පියා නිවස තුළට යන අයුරු දැක ඔහු පසුපසින් පැමිණ ඇති බව සාක්ෂි මගින් තහවුරු වී ඇත. තරමක් මහත සිරුරක් හිමි පියාගේ බරත් සමඟ මුනින් අතට වැටුණු දරුවාගේ නාසයෙන් සහ මුඛයෙන් දැඩි ලෙස රුධිරය වහනය වී තිබේ. අනතුරුව වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් විසින් පියා සහ දරුවා ත්‍රිරෝද රථයකින් ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියද, ඒ වන විටත් කුඩා දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා සහ ගම්පොළ පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කළ අතර, දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පොළ ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට කටයුතු යොදා තිබිණි.
