18-state-of-the-art-colposcopy-machines-that-detect-cervical-cancer-will-be-added-to-the-hospital-system

මෙරට කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකා වර්ග අතුරින් පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකා කලින්ම හඳුනාගෙන, ඒවාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අතිනවීන කොල්පොස්කොපි (Colposcopy) යන්ත්‍ර 18ක් රජයේ රෝහල් පද්ධතියට අලුතින්ම එක් කිරීමට පියවර ගෙන තිබේ. මෙම වැඩපිළිවෙළ යටතේ මෙරට රෝගීන්ගේ සුවසෙත වෙනුවෙන් මේ වසර තුළදී දැනටමත් යන්ත්‍ර 12ක් රෝහල් වෙත ලබාදී අවසන් කර ඇති අතර, ඉතිරි යන්ත්‍ර 06 ලබන මාසය තුළ ස්ථාපිත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 72කට අධික මූල්‍ය ප්‍රතිපාදන වැය කර ඇති අතර, එහිදී මිලදී ගත් එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වේ.




වර්තමානය වන විට අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, මහනුවර, ගම්පහ, මොණරාගල, පුත්තලම, හම්බන්තොට, මාතර ලැබීම රෝහල මෙන්ම කොළඹ ද සොයිසා කාන්තා රෝහල ඇතුළු දිස්ත්‍රික්ක රැසක ප්‍රධාන රෝහල්වල මෙම නවීන වෛද්‍ය උපකරණ සාර්ථකව ස්ථාපිත කර තිබේ. මීට අමතරව, එළඹෙන ජුනි මාසය වනවිට අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව යන ප්‍රදේශවල පිහිටි ශික්ෂණ හා දිස්ත්‍රික් මහ රෝහල් කේන්ද්‍ර කරගනිමින් ඉතිරි කොල්පොස්කොපි යන්ත්‍ර 06 ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. එම ඉතිරි යන්ත්‍ර වෙනුවෙන් රුපියල් මිලියන 42කට අධික මුදලක් වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

රජයේ රෝහල් ක්ෂේත්‍රය තුළ මීට පෙර භාවිත කළ පැරණිම කොල්පොස්කොපි යන්ත්‍ර පහක් වෙනුවට නවීන යන්ත්‍ර පහක් ප්‍රතිස්ථාපනය කිරීමටද බලධාරීන් කටයුතු කර ඇත. මෙම සියලුම නවීන යන්ත්‍ර ස්ථාපිත කිරීමේ කටයුතු අවසන් වූ පසු, ගැබ්ගෙල පිළිකා පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් පද්ධතිය සතු සමස්ත කොල්පොස්කොපි යන්ත්‍ර සංඛ්‍යාව 33ක් දක්වා ඉහළ යනු ඇත. මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝගී ජනතාවට අවශ්‍ය වෛද්‍ය සේවාවන් සමීප කරවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අරමුණ වී තිබේ.




කොල්පොස්කොපි යනු කාන්තාවන්ගේ ගැබ්ගෙල සහ යෝනි මාර්ගය ආශ්‍රිතව පවතින අසාමාන්‍යතා ඉතා නිවැරදිව පරීක්ෂා කිරීම සඳහා භාවිත කරනු ලබන විශේෂිත වෛද්‍ය ක්‍රියා පටිපාටියකි. ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව, ගැබ්ගෙල පිළිකාව යනු මානව පැපිලෝමා වයිරසය (Human Papilloma Virus) මගින් වැළඳෙන රෝගයක් වන අතර, එය පූර්ව පිළිකා අවධියේදීම හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකියාව පවතී. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නවතම දත්ත වාර්තාවලට අනුව, වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ වසරකට සාමාන්‍යයෙන් නව ගැබ්ගෙල පිළිකා රෝගීන් 1200ක් පමණ අලුතින් හඳුනාගැනෙන අතර, රෝගය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිකම සහ සුදුසු වේලාවට නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වසරකට රෝගීන් 180කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති.