all-properties-of-mahindananda-aluthgamas-foundation-are-handed-over-to-the-railway-department

දශක දෙකකට අධික කාලසීමාවක් පුරාවට බදු පදනමක් යටතේ භුක්ති විඳිමින් පවත්වාගෙන යනු ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ පදනමට අයත් සියලුම නිශ්චල සහ චංචල දේපළ අද (02) උදෑසන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් යළි භාර දෙනු ලැබීය.




මෙම දේපළ යළි පවරා ගැනීමට මූලික හේතුව වී ඇත්තේ අදාළ පරිශ්‍රය තුළ ආගමික වැඩසටහනක් පැවැත්වීමට අවසර ලබා දීම හරහා බදු ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය වී ඇති බවට බලධාරීන් විසින් තීරණය කිරීමයි.

නාවලපිටිය තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලදුව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පැවැත්වුණු "සදහම් සුවඳ" නමැති සීල භාවනා වැඩසටහනක් සඳහා එම භූමිය ලබා දීම මෙලෙස ගිවිසුම් කඩ කිරීමක් ලෙස අර්ථකථනය කර ඇති බව පදනමේ ලේකම් චාමික ධර්මතිලක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.




ඒ අනුව අදාළ ගිවිසුම් උල්ලංඝනය වීම පදනම් කරගනිමින් වහාම එම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස අදාළ බලධාරීන් විසින් පදනම වෙත මෑතකදී නිල වශයෙන් දැනුම් දී තිබුණි.

මීට පෙර පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද මෙම කාරණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වූ අතර, එහිදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ මාසයක් ඇතුළත මෙම දේපළ යළි රජයට පවරා ගැනීමේ කටයුතු සම්පූර්ණ කරන ලෙසයි.