වත්මන් ආණ්ඩුව මෙරට බිහිවූ ශක්තිමත්ම සහ සමස්ත ජනතාවගේම විශ්වාසය ඉහළින්ම දිනාගත් පාලනය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් ජාතික ජනබලවේගය විසින් නුවරඑළිය සහ මහරගම ප්‍රදේශවල සංවිධානය කර තිබූ මැයි දින රැලියන් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අතීතයේ පැවති ආණ්ඩු පාලකයන්ගේ වරප්‍රසාද වැඩිකරමින් ජනතාව පීඩාවට පත්කළද, වත්මන් රජය පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වැඩකරන ජනතාවගේ ජීවන මට්ටම නඟාසිටුවීමේ තීරණ පමණක් ගන්නා බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. උතුර, දකුණ, නැගෙනහිර මෙන්ම මලෛයගම් ජනතාවද මේ වන විට රජය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවත්, එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනතාව සහ ආණ්ඩුව එකට බැඳුණු ප්‍රථම අවස්ථාව බවත් හෙතෙම සඳහන් කළේය.දූෂිතයන්ට සහ වංචනිකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, 2026 වසර යනු එවැනි අපරාධකරුවන්ට සිරදඬුවම් නියම වන වසරක් බවට සහතික විය. මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ශක්තිමත් කර ඇති අතර, හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිවාස පවා අධිකරණ හා අල්ලස් කොමිසමේ කටයුතු සඳහා පවරා දී තිබේ. මේ මස තුළ පමණක් නඩු දහයක් විභාගයට ගැනෙන බවත්, ඉන් එක් නඩුවක තීන්දුව නුදුරේදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් ඔහු හෙළි කළේය. ජනාධිපතිවරුන්ගේ හෝ අගමැතිවරුන්ගේ පවුල් පසුබිම මත කිසිදු භේදයක් නොසලකා සියලු දෙනාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ගෝලීය බලශක්ති අර්බුදය සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිලෙහි සුළු වැඩිවීමක් සිදුවිය හැකි බවට ජනාධිපතිවරයා මහරගම රැලියේදී කරුණු පැහැදිලි කළේය. රජය මේ වන විටත් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් සියයක සහනාධාරයක් ලබාදෙන අතර, ඒ වෙනුවෙන් රුපියල් කෝටි හැටදහසක අතිවිශාල මුදලක් වෙන් කර තිබේ. යම් හෙයකින් විදුලි බිල ඉහළ දැමීමට සිදුවුවහොත්, සියයට අනූහයක පාරිභෝගිකයන්ට ඉන් බලපෑමක් නොවන පරිදි සහන සැලසීමට රුපියල් කෝටි එක්දහස් පන්සියයක් වෙන් කර ඇති බවද ඔහු පැවසීය. එසේම, මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දුවට අනුව තම පාලන කාලය තුළ විදුලි ගාස්තු තුනෙන් එකකින් අනිවාර්යයෙන්ම අඩු කරන බවටද ජනාධිපතිවරයා යළිත් තහවුරු කළේය.
මෙරට ආර්ථිකය ගොඩනැගීමට දායක වන මලෛයගම් ජනතාවගේ මූලික ගැටලු විසඳීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ද නුවරඑළිය රැලියේදී අවධානය යොමු කෙරිණි. ඒ අනුව, නිවාස ඉදිකිරීමේදී ඉඩම් අයිතිය ලබාදීමට රජය මැදිහත් වන අතර, නිවාස සඳහා අතීතයේ ලබාදුන් රුපියල් ලක්ෂ දහසයක මුදල මේ වන විට ලක්ෂ විසිපහ දක්වා ඉහළ නංවා තිබේ. විදේශ ණය ලබාගැනීමෙන් තොරව ඉතිරි කරන මුදල්වලින් මාර්ග සහ පාලම් ඉදිකරන බව පැවසූ ජනාධිපතිවරයා, වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම උදෙසා දෙමළ මාධ්‍ය විද්‍යාපීඨවල පවතින සියලුම ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇති බවද ප්‍රකාශ කළේය.
