a-website-for-consumer-financial-irregularity-complaints-from-the-central-bank

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතනවලට එරෙහිව මූල්‍ය පාරිභෝගිකයින්ට තම පැමිණිලි සහ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා නවතම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් (CMS) හඳුන්වා දී තිබේ.




මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියෙහි වගවීම, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ මූලික අරමුණ ඇතිව මෙම නව පද්ධතිය හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම පද්ධතිය හරහා මූල්‍ය පාරිභෝගිකයින්ට වඩාත් විධිමත් සහ ප්‍රමිතිගත ආකෘතියක් ඔස්සේ තම පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි වන අතර, මුද්‍රිත ලේඛන මත යැපීම අවම කරමින් පැමිණිලි හැසිරවීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීමට ද මෙයින් අවස්ථාව සැලසේ.




සතියේ දින හතේම සහ දවසේ පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන මෙම වේදිකාව හරහා පාරිභෝගිකයින්ට තමන්ට පහසු ඕනෑම වේලාවක පැමිණිලි ගොනු කළ හැකිය. ඊට අමතරව, තම පැමිණිලිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට ද පරිශීලකයින්ට පහසුකම් සලසා දී තිබේ.

කෙසේ වෙතත්, පාරිභෝගිකයින් සිය පැමිණිලි හෝ දුක්ගැනවිලි මුලින්ම අදාළ මූල්‍ය සේවා සපයන ආයතනය වෙත සෘජුවම යොමු කළ යුතුය. එම ආයතනය මගින් අදාළ ගැටලුව විසඳීමට අපොහොසත් වන්නේ නම් හෝ ඔවුන් ලබා දෙන ප්‍රතිචාරය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි අවස්ථාවලදී පමණක් මෙම මාර්ගගත පද්ධතිය හරහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අදාළ පැමිණිලි යොමු කළ හැකි බව බැංකුව වැඩිදුරටත් නිවේදනය කර ඇත.



මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කර ගැනීම සඳහා, ඉදිරිපත් කරන සියලුම තොරතුරු පැහැදිලි, නිවැරදි සහ සම්පූර්ණ ඒවා විය යුතු බවත්, ඊට අදාළ සියලුම සහායක ලියකියවිලි ද පද්ධතිය වෙත ඉදිරිපත් කළ යුතු බවත් මහ බැංකුව පාරිභෝගිකයින්ට උපදෙස් දෙයි.

මෙම නව පැමිණිලි කළමනාකරණ පද්ධතිය වෙත https://reachus.cbsl.lk/ යන සබැඳිය ඔස්සේ ප්‍රවේශ විය හැකි අතර, පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශ ද එම වෙබ් අඩවියේ අන්තර්ගත කර ඇත.