ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට බලපෑ අසාමාන්‍ය මෙන්ම අතිශය දරුණු කුණාටු තත්ත්වයක් හේතුවෙන් දිස්ත්‍රික්ක 26ක් පුරා පුද්ගලයින් 111 දෙනෙකුට පමණ සිය ජීවිත අහිමි වී තවත් 72 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
පැයට කිලෝමීටර් 100 සිට 130 දක්වා වේගයෙන් හමා ගිය සුළි කුණාටුවකට සමාන චණ්ඩ මාරුත, අධික වර්ෂාව, අකුණු ගැසීම්, දූවිලි කුණාටු මෙන්ම හිම කැට වර්ෂාවන් ද මෙම අයහපත් කාලගුණික තත්ත්වයට ඇතුළත් විය. මෙම ප්‍රචණ්ඩකාරී කාලගුණය හේතුවෙන් දැවැන්ත ගස් ඉදිරී යාම, බිත්ති සහ තාවකාලික වහළවල් කඩා වැටීම මෙන්ම විදුලි කණු කඩා වැටීමෙන් ප්‍රාන්තයේ විදුලි සැපයුම සහ ප්‍රවාහන කටයුතු ද සම්පූර්ණයෙන්ම අඩාල වී ගොස් විශාල දේපළ විනාශයක් සිදුවී ඇත.
නවතම වාර්තා වලට අනුව, මැටි සහ දුර්වල අමුද්‍රව්‍ය වලින් නිමවා තිබූ නිවාස 227 කට පමණ දැඩි හානි සිදුවී ඇති අතර, සතුන් 170 කට පමණ සිය ජීවිත අහිමි වී තිබේ. මෙම ආපදාවෙන් දැඩිවම බැට කෑ ප්‍රයාග්‍රාජ් (Prayagraj) දිස්ත්‍රික්කයෙන් පමණක් මරණ 21 ක් වාර්තා වී ඇති අතර, භඩෝහි (Bhadohi) ප්‍රදේශයෙන් මරණ 16 සිට 17 දක්වා ප්‍රමාණයක් ද, සන්ට් රවිදාස් නගර් (Sant Ravidas Nagar) ප්‍රදේශයෙන් මරණ 14 ක් සහ ෆතේපූර් (Fatehpur) ප්‍රදේශයෙන් මරණ 9ත් 11ත් අතර ප්‍රමාණයක් ද වාර්තා වී ඇත. මීට අමතරව මිර්සාපූර්, බුදාඋන්, සොන්භද්‍රා, බරබන්කි, බහ්රායිච්, හර්දෝයි, උන්නාඕ, බස්ති, සම්භාල් සහ කාන්පූර් දේහත් යන දිස්ත්‍රික්ක වලට ද කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ.
බොහෝ මරණ වලට හේතු වී ඇත්තේ ගොඩනැගිලි සහ තාප්ප කඩා වැටීම, අකුණු සැර වැදීම, ගස් කඩා වැටීම සහ සුළඟට ගසාගෙන ආ සුන්බුන් වල ගැටීමයි. අහස හදිසියේම සම්පූර්ණයෙන්ම කළු පැහැ ගැන්වී මෙම කුණාටුව පැමිණි බව ප්‍රදේශවාසීන් පවසන අතර, සුළඟේ ප්‍රබලත්වය මනාව පිළිඹිබු කරමින් බරේලි ප්‍රදේශයේ 50 හැවිරිදි ඊ-රික්ෂෝ (e-rickshaw) රියදුරෙකු අඩි 50ක් පමණ ඉහළ අහසට විසිවී ගොස් අස්ථි බිඳීම් සහිතව ප්‍රාතිහාර්යයකින් මෙන් දිවි ගලවා ගත් පුවතක් ද වාර්තා වේ. මැයි මස මැද භාගයේදී මෝසම් පූර්ව කුණාටු ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, මෙම විනාශකාරී කුණාටුවේ අසාමාන්‍ය ප්‍රචණ්ඩත්වය කාලගුණික විපර්යාස හේතුවෙන් උත්සන්න වූවක් බවට සැක කෙරේ.
මෙම ඛේදවාචකයෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගි ආදිත්‍යනාත්, සිදුවී ඇති හානිය පිළිබඳව පූර්ණ සමීක්ෂණයක් සිදුකරන ලෙසත් මියගිය පුද්ගලයින්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂ හතර බැගින් වන්දියක් ලබාදෙන ලෙසත් නියෝග කර තිබේ. විපතට පත් ප්‍රදේශවලට කඩිනමින් අමාත්‍යවරුන් පිටත් කර යැවීමට පියවර ගෙන ඇති අතර, පැය 24ක් ඇතුළත සහනාධාර බෙදා හැරීම සම්පූර්ණ කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත. ප්‍රාන්තයේ සහන කොමසාරිස් කාර්යාලය විසින් මෙම ආපදා ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන අතර, මෙම දැවැන්ත විනාශය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ද සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.
