a-statement-from-the-government-about-the-news-that-4000-lcs-were-opened-the-day-before-the-imposition-of-vehicle-surcharge

ආනයනික වාහන සඳහා පනවනු ලැබූ නව බදු අධිභාරය ක්‍රියාත්මක වීමට පෙරදින මෙරට තුළ ණයවර ලිපි (LC) 4,000ක් පමණ විවෘත කර ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජය අවධාරණය කරයි. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුව අමතමින් අද මේ බව ප්‍රකාශ කළේය.




රජය විසින් ආනයනික වාහන සඳහා පවතින රේගු ආනයන බදු මත සියයට 50ක නව අධිභාරයක් පැනවීමට පියවර ගත්තේ මැයි මස 16 වැනිදා සිට මාස තුනක කාලයක් බලපැවැත්වෙන පරිදිය. මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව, අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙරදින එනම් මැයි 15 වැනිදා වාහන ආනයනය වෙනුවෙන් විවෘත කර ඇත්තේ ණයවර ලිපි 1,782ක් පමණි. කෙසේ වෙතත්, මෙම බදු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, මැයි මස 18 වැනිදා ණයවර ලිපි 9,429ක් වැනි ඉහළ සංඛ්‍යාවක් විවෘත කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය.

නව බදු ප්‍රතිපත්තියට අනුව, මීට පෙර සියයට 30ක්ව පැවති රේගු ආනයන බද්දට මෙම සියයට 50ක අධිභාරය එකතු වන අතර, මේ හේතුවෙන් වාහනවල මිල සියයට 15ක ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත. එසේ වුවද, 2026 මැයි 15 වැනිදා හෝ ඊට පෙර විවෘත කරන ලද ණයවර ලිපි යටතේ ආනයනය කෙරෙන වාහන සඳහා මෙම නව සියයට 50ක බදු අධිභාරය බල නොපාන බව මුදල් අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කර තිබුණි.




මෙම බදු සංශෝධනය සිදුවීමට ආසන්න වෙත්ම ඇතැම් වාහන ආනයනකරුවන් විසින් ණයවර ලිපි 4,000කට ආසන්න ප්‍රමාණයක් කඩිනමින් විවෘත කර ඇති බවට හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා චෝදනා කර තිබුණි. එම ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල වූ බව ඔහු පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අදාළ තොරතුරු සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ද රජයෙන් ඉල්ලීමක් කර ඇත.