අනුරාධපුරයේ අපයෝජනය වූ දැරිය ගණිකාවක් ලෙස හැඳින්වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ඒ ප්‍රකාශය සම්බන්ධ ආන්දෝලනයක් මතුවූ පසු තමා කියුවේ වෙනත් කාන්තාවක් ගැන යයි පවසමින් අලුත් අදහස් දැක්වීමක් කර ඇත. නිට්ටඹුව ගණිකා නිවාසයක් වැටළීමේදී ගණිකාවක විසින් අටමස්ථානාධිපති හිමි අපයෝජනයක් කර ඇති බවට කියා තිබූ බවත් ඒනිසා අටමස්ථානාධිපති අත්අඩංගුවට පත්වූ බවත් අමුණුගම මහතා පවසන්නේ තමා කියූවේ තමා ඒ ගැන දැනසිටි එවැනි ආරංචියක් ගැන මිස අදාළ දැරිය ගැන නොවන බවයි.
මේ දක්වා කිසිදු මාධ්‍යයක පළ නොවූ එවැනි ගණිකාවක් ගැන මොහු දැන් පවසන්නේ සිදුවූ දෝෂයෙන් පළායන්නට මිස එම දෝෂය නිවැරදි කරන්නට නොවීම කණගාටුවට කරුණකි. මේ වනවිට බලවයස්කාර දැරිය අපහාසයට ලක්කරමින් අමුණුගම මහතා කළ ප්‍රකාශය ගැන පොලිසියට පැමිණිලි කිහිපයක්ද ලැබී ඇති පසුබිමක ඔහු සිය නිර්දෝෂීභාවය මෙසේ කියා තිබුණි."ඒක නිවැරදි කරන්න ඕනේ. මොකද, මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට මට ලැබුණු ආරංචියක් තමයි මම එතනදී සඳහන් කළේ. ඒක සමාජ මාධ්‍ය විසින් විකෘති කරලා, මම ඒ දරුවාට ගණිකාවක් කිව්වා කියලා තමයි අපි දැක්කේ. දිගින් දිගටම මේකට පහර ගහන නිසා, ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එහෙමයි කියලා හිතනවා නම්, ඇත්තටම එහෙම නෙමෙයි ඒ සිද්ධිය වුණේ.
විශේෂයෙන්ම මට ආරංචි වෙච්ච විදිහට, මේ සිද්ධිය ආරම්භ වෙන්නේ නිට්ටඹුව ප්‍රදේශයේ එවැනි කාන්තාවන් අලෙවි කරන ස්ථානයක් පොලිසියෙන් වටලා, ඒ ස්ථානයේ හිටපු කාන්තාවක් දීපු ප්‍රකාශයක් මත තමයි ඔය සිද්ධිය මේ දක්වා දුරදිග ගියේ කියන එකයි මගේ අවබෝධය. ඒ වෙලේ මාධ්‍යවේදියා ඒ ගැන විමසුවාම මම සඳහන් කළේ, මට ආරංචි හැටියට මෙහෙම කෙනෙක් තමයි ප්‍රකාශයක් දීලා තියෙන්නේ කියලයි. ඒ ස්ථානයේදී ඇය දුන් ප්‍රකාශයක් අනුව තමයි මේ පරීක්ෂණ කරලා ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ කියන එකයි මම සඳහන් කළේ.
මම ඇත්ත වශයෙන්ම ඒක පළ කරන්නත් අවශ්‍ය නැහැයි කියලා කිව්වා. මොකද, ඒ පිළිබඳව මට සියයට සියයක අවබෝධයක් නොතිබුණු නිසා. ආරංචි මත පදනම්ව දේවල් කියන්න බැහැනෙ. අපි පුවත්පත් සාකච්ඡාව කැඳෙව්වේ ඒ සඳහා නෙමෙයි. රණවිරු සැමරුම දවසේ උදේ වරුවේ රණවිරුවන් පිළිබඳ කතා කරන්න තමයි අපි ඒ පුවත්පත් සාකච්ඡාව කැඳෙව්වේ. මුළු සාකච්ඡාවම සමහරවිට මාධ්‍ය ආයතනවල තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේක නිවැරදි කරන්නට අවශ්‍යයි.
විශේෂයෙන්ම අපි දන්නවා මඩ ගහන කණ්ඩායමුත් ඉන්නවා. හැබැයි එහෙම නැති, මට හිතවත් පිරිසුත් මේ පිළිබඳව මගෙන් ප්‍රශ්න කළා මම මේ දරුවා පිළිබඳවද එහෙම කිව්වෙ කියලා. අන්න ඒ කාරණය නිසාම මෙය නිවැරදි කරන්න ඕනේ. ඒ දරුවා ගැන එහෙම කියන්න බැරි බවත් මම දන්නවා. මම එහෙම කියන්නෙත් නෑ. ඔබතුමාලා දන්නවා අවුරුදු විස්සක් විතර මම දේශපාලනයේ ඉඳලා තියෙනවා. මම කවදාවත් දේශපාලනයෙදිවත් කාටවත් ගරහන ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙට උත්තරේ මම දුන්නේ මම දන්න තරමටයි.
නමුත් ඒ ප්‍රකාශය තුළින් ඒ දරුවාට, ඒ දරුවාගේ පවුලේ කෙනෙකුට හෝ මේ සමාජයේ කාට හෝ වැරදි අවබෝධයක් නිසා සිත් රිදීමක් ඇති වී තිබෙනවා නම්, ඒ පිළිබඳව මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. මම ඒ ප්‍රකාශය කළේ ඔය කියන නිට්ටඹුව සිද්ධියට අදාළව මිසක්, මේ දරුවාගේ සිද්ධියට අදාළව නෙමෙයි කියන කාරණය පැහැදිලි කරන්න අවශ්‍යයි."
