a-shocking-revelation-about-kapilas-death

කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් අති භයානක හෙළිදරව්වක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සාගර කාරියවසම් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පවසා සිටී. ඔහු මෙසේ පවසයි.




"කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය, සියදිවි නසා ගැනීමක් බව පැවසෙනවා. නමුත්, එල්ලී මියයාමට යම් බලපෑමක් කර ඇති බවටද කියැවෙනවා. මේ මරණය පිටුපස තිබෙන ඉතාම භයානක තොරතුරක් මේ වනවිට එළිදරව් වී තිබෙනවා.

ඒ, මුල් අවස්ථාවේදී ම කපිල චන්ද්‍රසේන මහතාට ඇපකරුවන් දෙදෙනෙකු ලබාදීම සම්බන්ධයෙනි.




හැබැයි ඔවුන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී ඇති, ඇපකරුවන් වීමට සුදුසුකම් නොමැති පුද්ගලයින් දෙදෙනෙක්. ඒ ඇපකරුවන් දෙදෙනා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

ඒ අනුව කපිල චන්ද්‍රසේන මහතා නියමාකාරයට, කිසිදු නීතිවිරෝධී තත්ත්වයක් නොමැති නිවැරදි ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කර තමයි ඇප ලබා ගන්නේ.



නමුත් කපිල චන්ද්‍රසේන මහතාට අර නීතිවිරෝධී ඇපකරුවන් ලබා දුන් පුද්ගලයින් සිතා සිටින්නේ, ඔහුට ලබා දුන් ඇපකරුවන් වන්නේ එම නීතිවිරෝධී ඇපකරුවන්ම බවයි.

ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණය ඉදිරියේ කරන ඉල්ලීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ඉල්ලීමක්. කිසිදු ආකාරයකින් සිදු නොකළ යුතු ඉල්ලීමක් තමයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන්නේ.

අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් තිදෙනෙකු සිටිනවා. ඔබලාගේ යටතේ සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවැනි නීති අවභාවිතාවක් කර තිබෙනවා නම්, නීතිය කැඩීමක් කර තිබෙනවා නම්, නීතිවිරෝධී කර්තව්‍යයක් කර තිබෙනවා නම්, ඇයි ඔබලා නිහඬ? ඔහුට විරුද්ධව වහාම විමර්ශනයක් පවත්වා ඔහුව ඉවත් කරන්නැයි පාර්ලිමේන්තුවට දැනුම් දීමට ඔබලා පසුබට වන්නේ ඇයි?

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් (Airbus) මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගෙන, ඉන් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂ මහතාටද ලබා දුන් බව කපිල චන්ද්‍රසේන මහතා මිය යාමට පෙර ප්‍රකාශ කර තිබුණා.

මෙම දූෂිත ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මහතාව ඇප මත මුදා හැරීමෙන් පසු, නැවත අත්අඩංගුවට ගැනීමටයි වරෙන්තු නිකුත් වූයේ. ඔහු මුලින් ඉදිරිපත් කර තිබූ ඇපකරුවන් නීත්‍යානුකූල අවශ්‍යතා සම්පූර්ණ කර නොතිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත්, ඔහුව නැවත අත්අඩංගුවට ගැනීමට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඔහු මියගොස් තිබුණා."