8-officers-who-kidnapped-millionaires-and-took-money-while-performing-police-duties-have-been-suspended

පොලිස් නිල ඇඳුමින් සැරසී කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුතු රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් අටදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින මෙම නිලධාරීන් පිරිසගේ සේවය මෙලෙස අත්හිටුවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා සනාථ කළේය.




මෙසේ සේවා තහනමට ලක්වන පිරිස අතර විවිධ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීහු පිරිසක් වෙති. ඒ අනුව සෙට්ටිකුලම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු, කඩුගන්නාව සහ වෙල්ලාවලී පොලිස් ස්ථානවල උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු මෙන්ම කොබෙයිගනේ පොලිසියේ සේවය කළ සැරයන්වරයෙකු ද මේ අතර වේ. මීට අමතරව සෙවනගල, ගෑන්ඩ්පාස්, තෙලිකඩ සහ බදුල්ල යන පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකුගේ ද වැඩ තහනම් කිරීමට නියමිතය.

මෙම අපරාධය සිදුව ඇත්තේ 2023 වසරේ මාර්තු මස 18 වැනිදාය. එම වකවානුවේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රාජකාරියේ නියුතුව සිටි මෙම නිලධාරීන් පිරිස, මොහොමඩ් රවුෆ් මොහොමඩ් මුආද් අහමඩ් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් තිබුණි. පසුව ඔහුව ඝාතනය කරන බවට තර්ජනය කර මරණ බිය ගන්වා, ඔහු සන්තකයේ තිබූ කිලෝග්‍රෑම් දෙකකට අධික රත්තරන් තොගයක් මෙලෙස කොල්ලකා ඇති බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.




මෙම මහා පරිමාණ කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය මගින් දීර්ඝ විමර්ශනයක් පවත්වා තිබේ. එහිදී අනාවරණය වූ කරුණු මත, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ සැකකාර පොලිස් නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගැනුණු අතර ඔවුහු මේ වන විට බන්ධනාගාරගතව පසුවෙති.