
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ක්ෂේත්‍රයේ ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින්, මෙරටට ලබාදෙන පේපෑල් (PayPal) සේවා පහසුකම් පුළුල් කිරීම පිළිබඳ නිල නිවේදනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී අද (16) පෙරවරුවේ සිදු කෙරිණි.
වසර දොළහකට අධික කාලයක් පුරා පැවති සාකච්ඡා සහ ප්‍රමාදයන්ගෙන් අනතුරුව හිමිකරගත් මෙම ජයග්‍රහණය හේතුවෙන්, මෙතෙක් කල් මෙරට ගිණුම් හිමියන්ට පනවා තිබූ “මුදල් යැවීමට පමණක්” (Send Only) සීමාව ඉවත් වනු ඇත. ඒ අනුව, ජාත්‍යන්තර සේවාදායකයන්ගෙන් මුදල් ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් ශ්‍රී ලාංකික නිදහස් වෘත්තිකයන්ට (Freelancers), කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට තම ඉපැයීම් සෘජුවම දේශීය බැංකු ගිණුම් වෙත ලබාගැනීමේ අවස්ථාව උදා වේ. මෙය මෙරටට ලැබෙන නීත්‍යානුකූල විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නැංවීමටද ඍජුවම දායක වනු ඇත.
මෙම නව සේවාව ආරම්භක පියවරක් ලෙස ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන මූල්‍ය ආයතන හරහා ක්‍රියාත්මක වන අතර, නුදුරේදීම සෙසු බැංකුද මීට සම්බන්ධ වීමට නියමිතය. 1998 වසරේදී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් ආරම්භ වූ පේපෑල් ආයතනය මේ වන විට ලොව පුරා රටවල් 200කට අධික සංඛ්‍යාවක, පරිශීලකයන් මිලියන 430කට වැඩි පිරිසකට සේවා සපයන ලොව ප්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් ජාලයකි. ඔවුන්ගේ වාර්ෂික ගනුදෙනු වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක් ඉක්මවයි.
මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ, වත්මන් රජයේ ආර්ථික දැක්ම වන සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම යන මූලිකාංග මෙම ඩිජිටල් පරිවර්තනය තුළින් මනාව පිළිබිඹු වන බවයි. වංචනික හා අනාරක්ෂිත මූල්‍ය පද්ධති වෙනුවට ගෝලීය වශයෙන් පිළිගත් සුරක්ෂිත වේදිකාවක් මෙරටට හඳුන්වා දීම හරහා ශ්‍රී ලංකාව කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමින් වඩාත් විශ්වාසදායී ආර්ථිකයක් ලෙස ස්ථානගත වනු ඇති බවද ඇය අවධාරණය කළාය.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පෙන්වා දුන්නේ, නිසි ගෙවීම් ක්‍රමවේදයක් නොමැතිකම හේතුවෙන් මෙරට ඩිජිටල් අපනයනකරුවන් නීති විරෝධී ක්‍රම (Grey-market) වෙත යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙස විශාල සෙවණැලි ආර්ථිකයක් (Shadow industry) නිර්මාණය වී තිබූ බවයි. දැනට ඩොලර් බිලියන 1.5ක් පමණ වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් අපනයන ආදායම, 2030 වසර වන විට ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කරමින් දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකයෙන් ලැබෙන දායකත්වය 20%ක් දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බවද ඔහු පැවසීය. මීට අමතරව ඩිජිටල් සංචාරක වීසා හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර ඩිජිටල් මුදල් සහ අතථ්‍ය වත්කම් නියාමනය සඳහා නව නීති රාමු සකසමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසුවේ, පෞද්ගලිකව ජනාධිපති ලේකම් කාර්යාලය මැදිහත් වී ඉන්දියාවේ පේපෑල් නියෝජිතයන් සමග සෘජුව සිදුකළ සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය හිමිවූ බවයි. ඒ සඳහා දායක වූ ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතාට ඔහු විශේෂ ස්තූතියක්ද පුද කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, මීට වසර කිහිපයකට පෙර සිංගප්පූරුවේදී පේපෑල් ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවලදී ඔවුන් ශ්‍රී ලංකාව පිළිබඳව ධනාත්මකව නොසිතූවද, අද වන විට මෙරට විභවතාවන් නිවැරදිව හඳුනාගෙන තිබීම සතුටට කරුණක් බවයි.
පේපෑල් ආයතනයේ ඉන්දියාව සහ දකුණු ආසියාව භාර සංස්ථාපිත කටයුතු අධ්‍යක්ෂ නාත් පරමේෂ්වරන් මහතා සහ ආසියා පැසිෆික් කලාපීය ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි නාඩියා සයීඩ් මහත්මියද මෙහිදී අදහස් දැක්වූහ. ශ්‍රී ලංකාවේ 2030 ඩිජිටල් ආර්ථික දැක්ම සමග තම ආයතනයේ අරමුණු මනාව ගැළපෙන බවත්, ගෝලීය වෙළෙඳපොළවල් 200ක සිටින මිලියන 439කට අධික පේපෑල් සක්‍රීය ගිණුම් හිමියන් සමග ශ්‍රී ලාංකික කුඩා ව්‍යාපාරිකයන් හා නිදහස් වෘත්තිකයන් සම්බන්ධ කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
මෙම නව සේවාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක මහතා සඳහන් කළේ, තම බැංකුව හා ගනුදෙනු කරන 150,000ක් පමණ වන නිදහස් සේවා සැපයුම්කරුවන්ගේ විදේශ ඉපැයීම් වඩාත් සුරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමට මෙය කදිම අවස්ථාවක් වන බවයි. කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග මහතා මෙය මෙරට ඩිජිටල්කරණයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස හැඳින්වූ අතර, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සංජය ප්‍රදීප් ගුණවර්ධන මහතා මෙය ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකයට සක්‍රීයව සම්බන්ධ කරන ප්‍රධාන තාක්ෂණික විසඳුමක් බව අවධාරණය කළේය.
මෙම ඓතිහාසික අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ගෝමික උඩුගමසූරිය, ජනාධිපති උපදේශක හාන්ස් විජේසූරිය සහ ආචාර්ය මුදිත සෙනරත් යාපා යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මූල්‍ය ආයතන ප්‍රධානීන්, කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රැසක් සහභාගී වී සිටියහ.
