veteran-journalist-anura-solomons-passes-away-suddenly

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම 'දිවයින ඉරිදා සංග්‍රහයේ' හිටපු ප්‍රධාන කර්තෘවරයා වූ අනුර සොලමන්ස් මහතා අද (10) දහවල් අභාවප්‍රාප්ත විය. හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා සිය ජීවන ගමනට සමුදෙන විට 66 වැනි වියේ පසුවිය.




හදිසියේ මතු වූ හෘද රෝගී තත්ත්වයක් මුල් කරගනිමින් පළමුව පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු ඒ මහතාව, වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබුණි.

කෑගල්ල ශාන්ත මරියා මහා විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් යන විද්‍යාලයන්ගෙන් පාසල් අධ්‍යාපනය හැදෑරූ අනුර සොලමන්ස් මහතා, සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ මල්ටිපැක්ස් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ 'ඉරිදා' පුවත්පතේ ආධුනික වාර්තාකරුවෙකු ලෙසිනි.




අනතුරුව 'දිවයින' පුවත්පත හා සම්බන්ධ වන ඔහු, එහි කර්තෘ මණ්ඩලය තුළ ව්‍යාපාරික කර්තෘවරයා මෙන්ම විදෙස් පුවත් කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය. සිය වෘත්තීය ජීවිතයේ ඉහළම සලකුණ සටහන් කරමින් ඔහු පසුව 'දිවයින ඉරිදා සංග්‍රහයේ' ප්‍රධාන කර්තෘ ධුරයට ද පත් විය. දශක දෙකකට අධික කාලයක් දිවයින පුවත්පතේ කතුවැකිය රචනා කළ ඒ මහතා, නූතන පුවත්පත් කතුවැකි කලාව තුළ තමාටම ආවේණික වූ සුවිශේෂී රටාවක් නිර්මාණය කිරීමට සමත් වූ දක්ෂ විශේෂාංග ලේඛකයෙකු ද වෙයි.

විදෙස් රටවල් රැසකින් ජනමාධ්‍ය කලාව සම්බන්ධයෙන් පුහුණුව ලබා ඇති සොලමන්ස් මහතා, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිරිනමනු ලබන ආරාධිත අමුත්තන්ගේ නායකත්ව ශිෂ්‍යත්ව වැඩසටහනට ද සහභාගී වී ඇත. ඒ යටතේ අමෙරිකාවේ ප්‍රාන්ත පහක් පුරා සංචාරය කරමින් ගැටුම් නිරාකරණය පිළිබඳව ඔහු පුළුල් අධ්‍යයනයක නිරත විය.



ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අමතරව දේශපාලන උපදේශකයෙකු ලෙස ද කටයුතු කළ ඔහු, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදේශකවරයෙකු වශයෙන් සේවය කර තිබේ. එසේම ග්‍රන්ථකරණයේ ද නියැළුණු ඒ මහතා 'ලෝක විනාශයේ ඇත්ත කතාව' නමැති කෘතියේ රචකයා ය.

ප්‍රවීණ මාධ්‍යවේදිනියක වන නිශානි දිසානායක මහත්මිය සමග විවාහ වී සිටි අනුර සොලමන්ස් මහතා, ඉසුරු සහ යසෝදරා යන දරු දෙදෙනාගේ ආදරණීය පියාණන් ය.

අභාවප්‍රාප්ත අනුර සොලමන්ස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය පසුව දැනුම් දීමට නියමිතව ඇත.