කොළඹ කොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ මෑතකදී ජනතා අයිතියට පත් කරන ලද නව වැසිකිළි පද්ධතියේ ජල කරාම ගලවාගෙන යාම සහ දේපළ විනාශ කිරීම දේශපාලනික අරමුණු මත පදනම් වූ සංවිධානාත්මක ක්‍රියාවක් බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරයි.
අද (10) පෙරවරුවේ අදාළ ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා එක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කාන්තා වැසිකිළි අංශයේ පමණක් ජල කරාම පහක් ගලවා ඉවත් කර තිබීම කිසිසේත්ම සාමාන්‍ය සොරකමක් ලෙස සැලකිය නොහැකි බවයි. එක් වරක් අලුත්වැඩියා කළ පසුද යළිත් වරක් අද උදෑසන එම කරාම ගලවාගෙන ගොස් ඇති අතර, මෙය ව්‍යාපෘතිය ආරම්භයේ සිටම ඊට එරෙහි වූ සහ මඩ ප්‍රචාර දියත් කළ දේශපාලන කණ්ඩායම්වලම හැසිරීමක් බවට හෙතෙම චෝදනා කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් ඉදිරි මාස තුනක කාලසීමාව සඳහා වැසිකිළි පද්ධතියේ ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පැවරීමට මේ වන විට සාකච්ඡා පවත්වන බවත්, ඊට සමගාමීව ආරක්ෂිත කැමරා පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ මෙවැනි විනාශකාරී ක්‍රියා වාර්තා නොවන පසුබිමක, කොටුව බස් නැවතුම්පොළ තුළ පමණක් මෙලෙස පොදු දේපළවලට අලාභ හානි සිදු කිරීම රජය අපහසුතාවයට පත් කිරීම උදෙසා සිතාමතා කරන ලද උත්සාහයක් බවද ගුණසේන මහතා අවධාරණය කළේය.
මේ අතර, බස් නැවතුම්පොළ භාවිත කරන මගීන් චෝදනා කරන්නේ දැවැන්ත මුදලක් වැය කර ඉදි කළ මෙම පහසුකම නිසි පාලනයක් නොමැතිකම හේතුවෙන් දින කිහිපයක් තුළ දැඩි ලෙස අපවිත්‍ර වී විනාශ මුඛයට පත්ව ඇති බවයි. රාත්‍රී කාලයේදී කිසිදු ආරක්ෂාවක් නොමැති බැවින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මෙම ස්ථානයේ ලැගුම් ගන්නා බවත්, තැන තැන ඛේටය මුදාහරිමින් සහ ජල කරාම කඩා දමමින් දැඩි ලෙස හානි සිදු කර ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. තවද, වැසිකිළි පද්ධතියේ ඉහළ කොටස් පවා අපවිත්‍ර කර ඇති බැවින් එහි පවතින දැඩි දුර්ගන්ධය හේතුවෙන් ඇතුළුවීමට පවා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ජනතාව පවසති. කෙසේ වෙතත්, මෙවැනි සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාවද මීට වඩා වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බවට ද මගීහු අදහස් දක්වා සිටියහ.
මහජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක කරන ලද මෙවැනි ව්‍යාපෘති විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා උපරිම නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



