වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද 2025/2026 ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ප්‍රධාන ප්‍රසම්පාදන මූලධර්මයක් වන 'සාධාරණත්වය' සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකින් තහවුරු වී ඇතැයි ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කළේය.
මෑතකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව අමතමින් මෙම ගල්අඟුරු ප්‍රසම්පාදනය තුළ කිසිදු ගැටලුවක් නොමැති බවට ප්‍රකාශ කර තිබිණි. එහෙත්, විගණකාධිපති දෙපාර්තමේන්තුව වැනි ස්වාධීන ආයතනයක් මගින් සිදුකළ පරීක්ෂණයකින් එහි පැහැදිලි අක්‍රමිකතා පවතින බවට නිරීක්ෂණය කර තිබියදී, ජනාධිපතිවරයා කිසිදු වරදක් සිදුවී නොමැති බව පවසන්නේ කෙසේදැයි රණවක මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය. තවද, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම විශේෂ විගණන වාර්තාව මීට පෙර මහජන උපයෝගිතා කොමිසම මගින් ගල්අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවේ කරුණු සමඟ මනාව ගැලපෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
අදාළ විගණන වාර්තාවට අනුව, ලියාපදිංචිය නිසි පරිදි සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දී තිබේ. 2025 අගෝස්තු 18 වැනි දිනට අදාළ ලියාපදිංචි ගාස්තු ගෙවා තම ලියාපදිංචිය තහවුරු කරගැනීමට අපොහොසත් වූ සමාගම් දෙකක් නිල සැපයුම්කරුවන් ලෙස සලකා ඔවුන් වෙත ලංසු ලේඛන යොමු කිරීමට ආණ්ඩුවේ බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ලංකා ගල් අඟුරු සමාගම පියවර ගෙන ඇත. අගෝස්තු 18 වැනිදා ටෙන්ඩරය විවෘත කරන අවස්ථාව වන විටත් නිසි ලියාපදිංචියක් නොතිබූ සමාගමකට මෙලෙස ලංසු තැබීමට ඉඩ සැලසීම හරහා, ගල්අඟුරු සැපයීමට හැකියාව තිබූ එහෙත් ලියාපදිංචි වීමට ඉල්ලුම් කිරීමට නොහැකි වූ අනෙකුත් සැපයුම්කරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.
විපක්ෂය මෙන්ම වෘත්තීයවේදීන් ද මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි කරද්දී, ආණ්ඩුව සහ ජනාධිපතිවරයා වගඋත්තරකරුවන්ගේ භූමිකාවට පණ පොවමින් විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කරමින් සිටින බව රණවක මහතා චෝදනා කළේය. විගණකාධිපතිවරයෙකු පත් කිරීම මාස ගණනාවක් පුරා ප්‍රමාද කරමින්, තම හිතවතෙකු එම තනතුරට පත්කර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය අහෝසි කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කළ බවට ද ඔහු කියා සිටියේය. එබඳු පසුබිමක් තුළ වුවද, කිසිදු බලපෑමකට යටත් නොවී ඉතා නිර්භීතව මෙවැනි සත්‍ය හෙළි කරන වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට සිය කෘතවේදීත්වය පළ කරන බව හිටපු විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



