uk-tour-case-against-ranil---court-says-evidence-is-sufficient

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යයේ කළ සංචාරයේදී රුපියල් මිලියන 16කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කරුණු අනුව, ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බවට පෙනී යන්නේ යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 29) ප්‍රකාශ කළේය. එසේම, මෙම නඩුවට අදාළ විමර්ශනවල ප්‍රගතිය එළඹෙන ජූලි මස 08 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවදුරටත් නියම කරනු ලැබීය.




මෙම පැමිණිල්ල අද දින කැඳවූ අවස්ථාවේදී නඩුවේ පළමු සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව දන්වමින් ඔහුගේ නීතිඥවරුන් විසින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, අදාළ විමර්ශන කටයුතු මේ වනවිට බොහෝදුරට අවසන් අදියරේ පවතින බවයි. බ්‍රිතාන්‍යයේ වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු බව කියන ආරාධනය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලය වෙත යොමු කළ ප්‍රශ්නාවලියකට මේ වනවිට පිළිතුරු ලැබී ඇති බවත්, ඒ පිළිබඳව 2005 අංක 25 දරණ සාපරාධී කාරණාවලට අදාළ අන්‍යෝන්‍ය සහයෝගිතාව ලබා ගැනීමේ පනත යටතේ විදේශ අමාත්‍යාංශය හරහා නිල වශයෙන් තහවුරු කරගැනීමට අවශ්‍ය දැයි අධ්‍යයනය කරමින් පවතින බවත් ඔහු පැවසීය. විදේශගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා දිවයිනට පැමිණි පසු ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවද හෙතෙම කියා සිටියේය.




පසුගිය 24 වැනිදා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ඇයගේ නිවසේදීම ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, අදාළ විශ්වවිද්‍යාලයෙන් තමන්ට ආරාධනාව ලැබුණේ 2023 ජුනි 15 වැනිදා බව ඇය එම ප්‍රකාශය මගින් සඳහන් කර අදාළ ලිපිය ප්‍රථම වරට ඉදිරිපත් කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අනාවරණය කළේය. මීට පෙර විත්තියේ නීතිඥවරුන් විසින් අදාළ ආරාධනාව සැප්තැම්බර් 01 වැනිදා ලැබුණු බවක් පවසා සත්‍ය ලිපිය වසන් කර තිබූ බවට ඔහු චෝදනා කළේය. එසේම, මෙම සංචාරය හුදෙක් 'ට්‍රාන්සිට්' (සංක්‍රමණික) ගමනක් පමණක් බවට සැකකාර පාර්ශ්වය කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ දිලීප පීරිස් මහතා, ට්‍රාන්සිට් එකක් නම් ඊළඟ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු වුවත්, සැකකරු ලන්ඩනයේ සිට කිලෝමීටර් 200ක් සහ 400ක් පමණ දුර ගමන් කර හෝටලයක පැය 36ක් රැඳී සිටීම තුළින් එය කිසිසේත් සංක්‍රමණික විවේකයක් ලෙස පිළිගත නොහැකි බව අවධාරණය කළේය.

ජුනි මස ලද ආරාධනාවකට අනුව පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයක්, හරියටම රනිල් වික්‍රමසිංහ මහතා කියුබානු සහ ඇමෙරිකානු සංචාරවල නිරතවන සැප්තැම්බර් මාසයටම යොදාගැනීම පිළිබඳව ප්‍රශ්න කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, මෙහි සැකකරුවන් සහ විශ්වවිද්‍යාලය අතර යම් කුමන්ත්‍රණකාරී අන්තර් සම්බන්ධයක් පැවති බවට පෙනී යන්නේ යැයි තර්ක කළේය. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් ලබාදුන් ප්‍රකාශය අධ්‍යයනය කර ඇයවද මෙම නඩුවේ සැකකාරියක ලෙස නම් කරන්නේද යන්න ඉදිරියේදී තීරණය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ප්‍රකාශ කළේ, අදාළ විශ්වවිද්‍යාලය පෞද්ගලික එකක් නොවන බවත් එය බ්‍රිතාන්‍ය රජයේ පාලනය යටතේ පවතින ආයතනයක් බවත්, ඔවුන්ගේ පිළිතුරු මගින් අදාළ ආරාධනාව නීත්‍යානුකූල නිල ආරාධනාවක් බව මේ වනවිට තහවුරු වී ඇති බවත්ය. වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ වියදම් සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් 'ස්කයි වින්ස්' නමැති ආයතනයෙන් රුපියල් මිලියන 3.5ක් වැය කර වාහන පහක් කුලියට ගෙන තිබුණද හිටපු ජනාධිපතිවරයා ඒවා කිසිවක් භාවිත කර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. එක් රාත්‍රී ආහාර වේලක් සඳහා මිලියන දෙකක් වැය කර ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා, එම මුදලින් බ්‍රිතාන්‍යයේ මාසයක් පමණ ආහාර ගත හැකි බවත්, හිටපු ජනාධිපතිවරයා ලැගුම්ගෙන තිබුණේ මෙරට රේණුකා හෝටලය වැනි කුඩා හා අඩු වියදම් සහිත හෝටලයක බවත් ප්‍රකාශ කළේය. ඒ අනුව, මෙහි සැබෑ අක්‍රමිකතාව සිදුව ඇත්තේ මහ කොමසාරිස් කාර්යාලය හරහා බැවින් ඒ පිළිබඳව සෙවීම මිස මෙහි සැබෑ නඩුවක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය. තවද, මෙම ගමන හුදෙක් උපාධි ප්‍රදානෝත්සවයට පමණක් නොව අදාළ විශ්වවිද්‍යාල උපකුලපති පෝල් ස්වරාජ් ස්වාමිවරයාගේ 25 වන සංවත්සරයට සහභාගී වීම, සෞඛ්‍ය තත්ත්වය මත විවේක ගැනීම සහ බ්‍රිතාන්‍ය රජයෙන් ලැබුණු ආරක්ෂාව භුක්ති විඳීම අරමුණු කරගත් එකක් බව ඔහු සඳහන් කළේය. බ්‍රිතාන්‍යයේ උපාධි උත්සව දින කිහිපයක් පුරා පැවැත්වෙන බැවින් දින ගැලපීම සාමාන්‍ය තත්ත්වයක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

දෙවන සැකකාර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින්, මෙම වියදම් රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කර ඇති බවත්, එම වියදම් විගණනය කිරීමේ බලයක් සිය සේවාදායකයාට කිසිසේත් නොතිබූ බවත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කළ මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා, අදාළ මහජන මුදල් වියදම් කර ඇති ආකාරය කිසිසේත් පිළිගත නොහැකි බැවින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සිදුකර ඇති වියදම් සහ මුදල් අවභාවිතයන් පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. විශ්වවිද්‍යාලයකින් ලැබෙන ආරාධනාවක් රජයන් හරහා රාජ්‍යතාන්ත්‍රිකව සිදු නොවන්නේ නම් එය නිල ආරාධනාවක් ලෙස පිළිගත නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, කරුණු විශ්ලේෂණය කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අවධාරණය කළේය. එසේ වුවද, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශය තුළ අපරාධමය මානසික අංගයක් අනාවරණය නොවන බැවින් ඇයව සැකකාරියක ලෙස නම් කරන්නේ නම් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කළ යුතු බවත්, පසුගිය ජනවාරි මාසයේ ලබාගැනීමට නියමිතව තිබූ ඇයගේ ප්‍රකාශය මෙම මාසය දක්වා ප්‍රමාද වීම අපරාධ නඩුවක වැදගත්කම හීන කරන්නක් බැවින් ප්‍රමාදයකින් තොරව විමර්ශන කඩිනම් කළ යුතු බවත් ප්‍රකාශ කළේය. ඊළඟ නඩු දිනට පෙර අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දුන් ප්‍රතිඥාවද සටහන් කරගත් අධිකරණය, නඩුවේ ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා එය ජූලි 08 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.