ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ දැවැන්ත වෙනසක් සනිටුහන් කරමින්, එහි නව අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පත් කර තිබේ.
මෙම පත් කිරීම සිදු කෙරුණේ, 2019 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය තනතුරු වලින් සමූහිකව ඉල්ලා අස්වීමෙන් පසුවය. ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම හේතුවෙන් ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදුවිය යුතු බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ දැඩි බලපෑම මෙම ඉල්ලා අස්වීම් සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වාර්තා වේ.
ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි අද (29) යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත භාර දුන් අතර, අමාත්‍යවරයා විසින් එම ඉල්ලා අස්වීම් නිල වශයෙන් පිළිගෙන ඇත. ඉන් අනතුරුව, 1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 31 සහ 34 වගන්ති මගින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් මෙම අතුරු පාලක කමිටුව පත් කරන ලදී. වෘත්තියෙන් බැංකුකරුවෙකු වන මෙන්ම ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් මීට පෙරද අදහස් දක්වා ඇති එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර සහ සිදත් වෙත්තමුණි යන මහත්වරුන් පත්කර ඇත. ඊට අමතරව තුෂිර රදැල්ල, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ටර්, නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ ජනාධිපති නීතිඥ දිනාල් පිලිප්ස් යන මහත්වරුන් කමිටුවේ ඉතිරි සාමාජිකයන් ලෙස කටයුතු කරති.
නව නිලධාරී මණ්ඩලයක් නිලවරණයකින් තෝරා පත් කර ගන්නා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීරණ ගැනීමේ සහ පරිපාලන කටයුතු මෙහෙයවීමේ සම්පූර්ණ බලය මෙම අතුරු කමිටුව සතු වෙයි. ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ගැටළු සඳහා විසඳුම් හඳුනාගැනීම, පාලක මණ්ඩලය තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනයේ විනිවිදභාවය තහවුරු කරමින් ඉදිරි උපායමාර්ගික වෙනස්කම් සිදු කිරීම මෙම ප්‍රබල කමිටුව පත් කිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.
කෙසේ වෙතත්, ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා සංගම් විසුරුවා හැරීමට මෙරට නීතියෙන් බලය පැවරී තිබුණද, තේරී පත් වූ ජාතික ආයතනයකට රජය මැදිහත් වීම ප්‍රතිපත්තිමය වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රඥප්තිවලට පටහැනි වේ. එහෙත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම පරිපාලනමය වෙනස සහ ඊට හේතු වූ පසුබිම පිළිබඳව දැනුවත් කර ඇති බවත්, නුදුරේදීම ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් පවත්වන බවට ඔවුන්ට සහතිකයක් ලබා දී ඇති බවත් වාර්තා වේ.
