how-iran-secretly-won-the-digital-war-against-america

කඩුවට වඩා පෑන බලවත් බව අප කුඩා කල සිටම අසා ඇත. එහෙත් නවීන ලෝකයේ න්‍යෂ්ටික මිසයිලයකට වඩා අන්තර්ජාල 'මීමයක්' (Meme) බලවත් විය හැකිද?

පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානය වෙත බෝම්බ හෙළීම ආරම්භ කළේය. නමුත් එම ප්‍රහාරයේ ඝන දුමාරය මැකී යන්නටත් පෙර, ඉරානය සම්පූර්ණයෙන්ම වෙනස් වූ යුධ පිටියක් ජයග්‍රහණය කරමින් සිටියේය. ඒ ආයුධ වලින් නොව, සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරි හාස්‍යෝත්පාදක සටහන් සහ වීඩියෝ මගිනි.




ප්‍රහාරයෙන් පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) සම්බන්ධ ගිණුම්, ප්‍රචාරණ අන්තර්ගතයන්ගෙන් අන්තර්ජාලය පුරවාලීය. 'නිව්ස්ගාර්ඩ්' (NewsGuard) නමැති මාධ්‍ය නිරීක්ෂණ ආයතනය පෙන්වා දෙන පරිදි, මුල් දින විසිපහ තුළ පැතිර ගිය අසත්‍ය ප්‍රකාශ පනහකින් සියයට අනූදෙකක්ම ඉරානයට පක්ෂපාතී ඒවා විය. මෙහි ප්‍රතිඵලය වූයේ මාර්තු මැද භාගය වන විට සියයට පනස් අටක් වූ බහුතර ඇමරිකානුවන් මෙම යුද ප්‍රහාරයන්ට එරෙහි වීමයි. ඉරානය කිසිදු වෙඩි උණ්ඩයක් නොමැතිව, ඉතා සූක්ෂම ලෙස ඇමරිකානුවන්ගේම නිදන කාමර සහ විසිත්ත කාමර ආක්‍රමණය කර තිබුණි.

මෙය කිසිසේත්ම අහඹු සිදුවීමක් නොවේ. සතුරන් පසුබස්සවාලීමට ගුවන් යානා සහ මිසයිල වලට වඩා මාධ්‍යයට හැකි බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනි 2024 වසරේදී පවසා තිබුණි. අද වන විට ඉරානයේ ප්‍රචාරක යන්ත්‍රණය මෙහෙයවන්නේ ආචාර්ය උපාධිධාරී, අන්තර්ජාලය තුළ හැදී වැඩුණු නව පරපුරකි. සම්ප්‍රදායික ඉස්ලාමීය ප්‍රතිරෝධය වෙනුවට, ඔවුන් ඇමරිකානු සංස්කෘතියේම දුර්වලතා ආයුධයක් කරගෙන ඇත. ට්‍රම්ප් සහ නෙතන්යාහු එක්ව සුප්‍රකට 'එප්ස්ටීන්' ගොනු පරීක්ෂා කරමින් ඉරාන පාසලකට බෝම්බ හෙළන ආකාරය දැක්වෙන ලෙගෝ සජීවිකරණ වීඩියෝව (Lego animation), මෙහි එක් සාර්ථක උදාහරණයකි. සුන්බුන් අතර ඇති කුඩා පාවහන් යුගළයක් සහ පාසල් බෑගයක් පෙන්වන මෙම වීඩියෝව, ඉරානය පිළිබඳ දේශපාලනික කරුණු කියා දෙනවාට වඩා, ඇමරිකානුවන් තුළ බලය සහ දණ්ඩමුක්තිය පිළිබඳව කල්තියාම පැවති වරදකාරී හැඟීම් මනාව අවදි කළේය.




අනෙක් අතට ඔවුන් භාවිතා කළ උපහාසය අතිශයින් තියුණු මෙන්ම නිර්භීත විය. ඉරාන බ්‍රිගේඩියර් ජෙනරාල් ඊබ්‍රාහිම් සෝල්ෆගාරි කිසිදු බියකින් තොරව කැමරාව දෙස බලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේම රූපවාහිනී වැකියක් වූ "හේ ට්‍රම්ප්, ඔබව සේවයෙන් පහ කර ඇත" යන්න ප්‍රකාශ කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය අප්‍රේල් 7 වනදාට පෙර විවෘත කරන ලෙස ට්‍රම්ප් දුන් අවසන් නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, සිම්බාබ්වේහි ඉරාන තානාපති කාර්යාලය "එහි යතුර නැති වී ඇති බවත්", පසුව දකුණු අප්‍රිකානු කාර්යාලය "මල් පෝච්චිය යට තිබී එය හමුවූ බවත්" පවසමින් සමාජ මාධ්‍යයේ විහිළු කළහ. මේ අතර ඉරානයේ මුම්බායි කොන්සියුලර් කාර්යාලය ද ඉන්දියානුවන්ගේ සිත් දිනාගන්නා අයුරින් අදහස් හුවමාරු කරගත්තේ, මෙය හුදු සමාජ මාධ්‍ය මෙහෙයුමක් පමණක් නොව, ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදනයක් බව සනාථ කරමිනි.

සම්බාධක වලින් බැටකන, අන්තර්ජාල පහසුකම් පවා සීමිත රටක් මෙතරම් ප්‍රබල ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කරන්නේ කෙසේද යන පැනය මෙහිදී මතු වේ. මෙහි පසුබිමේ ඇත්තේ මනාව සැකසුණු ස්තර තුනකින් යුත් ජාලයකි. නිල රාජ්‍ය ගිණුම් සහ මාධ්‍ය ආයතන වලට අමතරව, ටෙක්සාස්හි ලතින් කාන්තාවන් හෝ ස්කොට්ලන්ත ජාතිවාදීන් ලෙස පෙනී සිටිමින් වසර ගණනාවක් තිස්සේ ගොඩනඟාගත් ව්‍යාජ ගිණුම් ජාලයක් ඔවුන් සතු විය. පෙබරවාරි 28 වැනිදා, මෙවැනි ගිණුම් හැටඑකක් එකවරම ඉරානයට පක්ෂපාතී මතවාදයන් පැතිරවීම ඇරඹූ අතර, රුසියාව සහ චීනය එම පණිවිඩ ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත කරමින් ඊට දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දුන්හ. යුද්ධය හේතුවෙන් දෙපාර්ශවයම තොරතුරු වාරණය කර ඇති පසුබිමක, සමාජයේ නිර්මාණය වන තොරතුරු හිඩැස ඉරානය විසින් කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගනිමින් නිපදවූ හැඟීම්බර අන්තර්ගතයන්ගෙන් පුරවාලනු ලැබීය. ඒවා සත්‍ය වීම අවශ්‍ය නොවීය, තත්පර කිහිපයකට හෝ ඒවා සත්‍ය යැයි ප්‍රේක්ෂකයාට දැනීම පමණක් ප්‍රමාණවත් විය.



මෙහි ඇති ලොකුම සරදම නම්, ඉරානය මේ සියල්ල ඉගෙන ගෙන ඇත්තේ ට්‍රම්ප්ගෙන්ම වීමයි. ඔහු ගොඩනැගූ අපහාසාත්මක සහ අවධානය දිනාගන්නා දේශපාලන සන්නිවේදන රටාව, අද ඉරානය විසින්ම ඔහුට එරෙහිව වඩාත් නිර්මාණශීලීව යොදාගනිමින් සිටී. ප්‍රමාණාත්මකව විශාල පණිවිඩ ප්‍රමාණයක් යැවීමෙන් පමණක් මිනිසුන්ගේ හදවත් දිනාගත නොහැකි බවත්, ඊට බුද්ධිය, කඩිනම් බව සහ සියුම් හාස්‍යය අවශ්‍ය බවත් ඉරාන මෙහෙයුම ඔප්පු කර හමාරය. අනාගත යුද්ධයක ජයග්‍රහණය තීරණය වන්නේ සටන් බිමේ ගලන රුධිරයෙන් පමණක් නොව, ජංගම දුරකථන තිරය මත තත්පර කිහිපයකට දිගහැරෙන සිනහවකින් ද විය හැකිය.