twenty-crores-of-postage-paid-to-america-has-not-yet-arrived

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ තැපැල් සේවාව (US Post) වෙත ප්‍රේෂණය කරන ලද රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් අතුරුදන් වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. ඇමෙරිකානු ඩොලර් හය ලක්ෂ විසිපන්දහසක මෙම මුදල තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවට ඇමෙරිකානු තැපැල් බලධාරීන් දැනුම් දී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.




රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විටත් වෙන වෙනම පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි. මෙම මුදල් ප්‍රමාණයට සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කර ගැනීම එම පරීක්ෂණවල ප්‍රධාන අරමුණ වී තිබේ.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, දෙරට අතර සිදුවන තැපැල් භාණ්ඩ හුවමාරුවට අදාළව 2025 වසරේ පෙබරවාරි සහ ඔක්තෝබර් මාසවලදී මෙම ගෙවීම් සිදුකර ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ මුදල් තමන් වෙත ලැබී නොමැති බවට ඇමෙරිකානු පාර්ශවය දැනුම් දී ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීය.




මීට පෙර ඇමෙරිකාව වෙත සිදුකළ ඩොලර් ලක්ෂයක ගෙවීමක් නිසි පරිදි ලැබී තිබූ බවත්, පසුව ගිණුම් අංකය වෙනස් වූ බව පවසමින් ලැබුණු විද්‍යුත් පණිවුඩයක් අනුව නව ගිණුම් අංකයකට මෙම මුදල් බැර කර ඇති බවත් තැපැල්පතිවරයා අනාවරණය කළේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු තැපැල් සේවාව වෙත කරුණු දන්වා ඇතත්, ඔවුන්ගෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැත.

ප්‍රතිව්‍යූහගත කළ ණය වාරික ලෙස ඔස්ට්‍රේලියාවට ගෙවීමට ගිය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් ද මීට පෙර සයිබර් හැකර්වරුන් විසින් වංචනික ලෙස ලබා ගැනීමේ සිද්ධියක් වාර්තා වී තිබුණි. එවැනි පසුබිමක තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල්වලට ද මෙවැනි ඉරණමක් අත්විම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමු වී ඇත.



මේ වන විට රජයේ සියලුම ආයතනවල මූල්‍ය සහ දත්ත පද්ධතිවල සුරක්ෂිතතාව පිළිබඳව නිරන්තර සොයා බැලීම් ආරම්භ කර ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම විදේශීය ගෙවීම් සිදු කිරීමේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටීන්හි පවතින දුර්වලතා මගහරවා ගැනීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතය.