චීනයේ යුනාන් ප්‍රාන්තයේ මෝජෑන් නුවර පැවැත්වෙන 2026 ලොව විශාලතම නිවුන් උළෙල සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන නිවුන්නු කණ්ඩායම ඊයේ (28) දින රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ. මෙම විශේෂ කණ්ඩායම ඊයේ රාත්‍රී 10.15 ට චීන ජාතික ගුවන් සේවයට අයත් සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් චීනයේ චෙන්ඩු නුවර බලා සිය ගමන ආරම්භ කළ බව වාර්තා වේ.
ලෝකයේ රටවල් 70 කින් පැමිණෙන ලක්ෂයකට අධික නිවුන්නු පිරිසකගේ සහභාගීත්වයෙන් හෙට (30) දින සිට ලබන මැයි මස 04 වනදා දක්වා මෙම දැවැන්ත සංස්කෘතික මංගල්‍යය පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර පැවැත්වෙන්නේ මෝජෑන් ජාත්‍යන්තර නිවුන් උළෙලේ 20 වන සංස්කරණය වන අතර එය චීනයේ වඩාත් ජනප්‍රිය සහ ජාත්‍යන්තර අවධානය දිනාගත් වාර්ගික උත්සවයක් ලෙස සැලකේ.
මෙම උළෙලේදී ශ්‍රී ලංකා නිවුන්නු කණ්ඩායම මෙරටට ආවේනික වූ සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින අතර ඒ අතරට ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය විදහා දැක්වෙන නර්තන අංග, ගීත, කවි සහ කතා ඇතුළත් වේ. ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලාංකීය උරුමය ප්‍රදර්ශනය කිරීමට මෙය සුවිශේෂී අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උත්සවය පැවැත්වෙන මෝජෑන් ප්‍රාන්තය "නිවුන්නුන්ගේ නිවහන" ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි පවතින අසාමාන්‍ය නිවුන් උපත් අනුපාතය හේතුවෙනි. ලෝකයේ සාමාන්‍ය නිවුන් උපත් අනුපාතයට වඩා සිව් ගුණයකටත් වඩා වැඩි අගයක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වන අතර මෝජෑන් ප්‍රාන්තය තුළ පමණක් නිවුන් ජෝඩු 1,200 කට අධික සංඛ්‍යාවක් ජීවත් වෙති. කර්කටක නිවර්තනය මෙම නගරය මැදින් ගමන් කිරීම සහ එහි ඇති "නිවුන් ළිං" වැනි ජනප්‍රවාදගත ස්ථාන මෙම අසාමාන්‍ය සංසිද්ධියට හේතුවී ඇති බව ප්‍රදේශවාසීන් විශ්වාස කරති.
2005 වසරේදී ආරම්භ කරන ලද මෙම උළෙල මේ වන විට විශාල දියුණුවක් ලබා ඇති අතර පසුගිය කාලය පුරා රටවල් 40 කට අධික සංඛ්‍යාවකින් නිවුන් ජෝඩු 18,000 ක් පමණ මෙයට සහභාගී වී තිබේ. දැවැන්ත පෙරහැරවල්, දක්ෂතා දැක්වීමේ ප්‍රසංග, හනි (Hani) ගෝත්‍රික සම්ප්‍රදායික නර්තන සහ ආහාර ප්‍රදර්ශන රැසකින් සමන්විත මෙම උත්සවය චීනයේ සංචාරක ක්ෂේත්‍රයට ද විශාල ආදායමක් ගෙන දෙන ප්‍රධාන සංස්කෘතික අංගයකි.
