
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා විසින් අද දින තලංගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ, තමන් ඇතුළු පිරිස නිවසක් ඉදිරිපිටට ගොස් සිදුකළ විරෝධතාවයකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙනි.
හර්ෂණ සූරියප්පෙරුම මහතාට එරෙහිව ඔහුගේ නිවස සොයාගොස් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ බවත්, එහිදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මැර පිරිසක් පැමිණ ඊට ම්ලේච්ඡ ලෙස ගොම අසූචි හා බිත්තර විසිකර පහර දුන් බවත් ඔහු පවසයි.මෙම ප්‍රහාරය තලංගම පොලීසියේ උසස් නිලධාරීන් බලා සිටියදීම ආයුධ, ගල්, රතිඤ්ඤා සහ යකඩ පොලු රැගෙන ආ පිරිසක් විසින් සිදු කර ඇති බව සුගීශ්වර බණ්ඩාර මහතා චෝදනා කරයි. එහිදී එක්තරා අවස්ථාවක පොලිස් නිලධාරීන්ට පවා තල්ලු කරමින් සහ බැන වදිමින් නීතිය තම අතට ගත් ප්‍රහාරකයින් ත්‍රස්තවාදීන් ලෙස හැසිරී ඇති බවද අවධාරණය කළේය.
පහරදීමට පැමිණි කිසිවෙකුත් පැලවත්ත දේසිංහ මාවතේ පදිංචිකරුවන් නොවන බවත් ඔවුන් සියලු දෙනාම පිටස්තර ප්‍රදේශවලින් පැමිණි අය බවත් ඔහු කියයි. ප්‍රහාරකයෙකු සතුව ගිනි අවියක් තිබූ බවත්, "දැන් තියෙන්නේ ජේවීපී ආණ්ඩුවක්, ඒක හින්දා මැරුම් නොකා මෙතනින් පලයන්" යැයි ඔහු විරෝධතාකරුවන්ට තර්ජනය කර ඇති බවත් කීය. ඊට අදාළ යතුරුපැදියේ අංකය WP BDJ 1041 ලෙස හඳුනාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී නිරායුධ උද්ඝෝෂකයින්ට පහර දුන් ආයුධ සන්නද්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ රවි සෙනෙවිරත්න යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීය.
එසේම, හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස අසල විරෝධතාවය ඉවසාගත නොහැකිව පහර දුන් බවට ප්‍රහාරකයෙකු විසින්ම කරනු ලබන පාපොච්චාරණයක් සහිත හඬපට සහ වීඩියෝ පටද තමන් සතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රාජකාරි වේලාව තුළ පැමිණි විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් වැටුප් ලබන පූර්ණකාලීන සාමාජිකාවක්ද මෙම පිරිස අතර සිටි බව ඔහු කියයි. තලංගම පොලීසියට අදාළ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකු වන සුසාන් ඉන්දික සහ ප්‍රජා පොලිස් ඒකකයේ උප සභාපතිවරයෙකු වන නිලන්ත නැමැත්තන්ද මෙම මැර කණ්ඩායමට ඇතුළත් වී සිටි බව ඔහු කියයි. නිලන්ත නැමැත්තා උසස් පොලිස් නිලධාරියෙකුගේ නිල ඇඳුමට අත තබා ඔහුට ඉවත්වන ලෙස පවසා, සුගීශ්වර බණ්ඩාර මහතාට පහර දීමට උත්සාහ කර තිබේ. සිවිල් ආරක්ෂක කමිටුවලට මැරයින් ඇතුළත් කර ගනිමින් විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන්නේ දැයි ඔහු අසයි.
