මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික ක්‍රිකට් තරගයේ රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු බසයක ගැටීමෙන් ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. බලගොල්ල රන්මල් ඔය පාලම ආසන්නයේදී ඊයේ 2 වැනිදා උදෑසන මෙම මාරක රිය අනතුර සිදුවී තිබේ.
දිගන ප්‍රදේශයේ සිට මහනුවර දෙසට ධාවනය වූ මෙම යතුරුපැදිය, වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෞද්ගලික මගී බස් රථයක ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුර සිදුවූ ස්ථානයේදීම යතුරුපැදිය පැදවූ සිසුවා මියගොස් ඇති අතර, පිටුපස ගමන් ගත් අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබමින් සිටි කස්තුරි නෙතුල සහ සචින් කරුණාරත්න යන සිසුන් දෙදෙනාය. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ 66 වැනි "සුරතලුන්ගේ සටන" ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂක කමිටුව නියෝජනය කළ මෙම සිසුන් දෙදෙනාට, ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ රාජකාරිය පවරා තිබී ඇත. එම කටයුතු සඳහා උදෑසනින්ම යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබේ.
අනතුරට ලක්වන අවස්ථාවේදී සිසුන් දෙදෙනාම ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සිටියද, යතුරුපැදිය පැදවූ 17 හැවිරිදි සිසුවාට වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේය. ඒ අනුව, බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය පැදවීමට ලබාදුන් පුද්ගලයාට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මේ වන විට අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථය සහ එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම හදිසි ඛේදවාචකය හේතුවෙන් ශාන්ත සිල්වෙස්ටර් සහ විද්‍යාර්ථ විද්‍යාල අතර පැවති 66 වැනි "සුරතලුන්ගේ සටන" ක්‍රිකට් තරගය අතරමඟ නතර කර දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පල්ලෙකැලේ පොලිසියේ රථවාහන අංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.

