the-telly-actor-came-from-his-sons-underworld-and-broke-the-door-of-the-pub-and-attacked-the-owner

රාත්‍රියේ අඳුරත් සමඟ කොළඹ නිදිවර්ජිත සමාජ ශාලා සංස්කෘතිය තුළ දැන් රජයන්නේ රටේ නීතිය නොව, පාතාලයේ අමානුෂික පළිගැනීම්වල නරුම නීතියයි.




පසුගිය 7 වැනිදා රාත්‍රියේ කොළඹ ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවක දොරටු කඩාගෙන ඇතුළු වූ සන්නද්ධ මැර කණ්ඩායමක් එහි හිමිකරුව බලහත්කාරයෙන් දණගස්වා, ඔහුගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම කපා දමමින් කුරිරු දඬුවමක් ලබා දී තිබේ. පාතාල මර්දන මෙහෙයුම් භාර උසස් පොලිස් නිලධාරියෙකු තහවුරු කරන ආකාරයට, මෙම සාහසික ක්‍රියාව මෙහෙයවා ඇත්තේ මේ වන විට ඩුබායි රාජ්‍යයට පලා ගොස් සැඟව සිටින, මෑතකදී මියගිය ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවෙකුගේ පුත්‍රයෙකි.

අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී මෙරටින් පලා ගොස් ඇති මෙම තරුණයා, සිය සහචරයන් ලවා මෙම අපරාධය සිදු කර ඇත. ව්‍යාපාරිකයෙකු වන සමාජ ශාලා හිමිකරුවාට මෙම අමානුෂික නිග්‍රහය විඳදරාගැනීමට සිදුවූයේ දැඩි බියකින් සහ කම්පනයකින් යුතුවය. වඩාත් ත්‍රාසජනක කරුණ වන්නේ, මෙම හිසකෙස් කැපීමේ සහ දණගැස්වීමේ සමස්ත ක්‍රියාවලියම එම අවස්ථාවේදී මැරයන්ගේ ජංගම දුරකථනයක් හරහා ඩුබායි හි සැඟව සිටින ඔවුන්ගේ පාතාල නායකයාට සජීවීව නරඹන්නට සලස්වා තිබීමයි. සියල්ල අවසානයේ පොලිසියට පැමිණිලි කළහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි මරණ තර්ජනය කරමින් එම කණ්ඩායම අඳුරේම පලාගොස් ඇත.




මෙම සිදුවීම හුදෙකලා අපරාධයක් නොව, කොළඹ පාතාලයේ අලුත්ම පළිගැනීමේ සංස්කෘතියේ දිගුවක් බව පැහැදිලිය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි, මෙම නළුවාගේ පුත්‍රයාට අයත් යැයි සැලකෙන රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු වෙනත් පාතාල කණ්ඩායමක් එහි සේවකයන් තිදෙනෙකුගේම හිසකෙස් බූගා, ඔවුන්ට කාන්තා ඇඳුම් අන්දවා නටවමින් අමානුෂික වධයක් ලබා දුන්නේය. ඩුබායි හි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'වැල්ලේ සාරංග' නමැත්තාගේ කල්ලිය විසින් සිදු කළ එම නිග්‍රහයද එදින වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ සජීවීව විකාශය කර තිබුණු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.

එදා කාන්තා ඇඳුම් අන්දවා නටවමින් දුන් දඬුවමට, අද දණගස්වා කොණ්ඩය කපා දැමීමෙන් පිළිතුරු සපයා ඇත. සිය පියාගේ කලාකාමී ප්‍රතිරූපය වෙනුවට පාතාලයේ අඳුරු සෙවනැලි මැදින් තමන්ගේම ත්‍රස්තයක් ගොඩනගමින් සිටින මෙම තරුණයාගේ පළිගැනීම මෙතෙකින් නිමාවනු ඇත්දැයි සැක සහිතය. නීතියේ රැහැනට කොටු කරගත නොහැකි වූ අපරාධකරුවන් විදේශයන්හි සුඛෝපභෝගී ජීවිත ගත කරමින් ලංකාවේ මිනිසුන්ගේ ජීවිත සහ ගෞරවය සමඟ සෙල්ලම් කරන්නේ තවත් කොපමණ කාලයක්ද යන්න සමාජය හමුවේ ඇති බරපතළම ප්‍රශ්නයයි.



ස්මාර්ට් දුරකථන තිර හරහා සජීවීව විකාශය වන මෙම අලුත්ම පාතාල ත්‍රස්තවාදය නිහඬ කිරීමට නීතිය අපොහොසත් වන්නේ නම්, කොළඹ රාත්‍රිය මීට වඩා බොහෝ සෙයින් රුධිරයෙන් සහ කඳුළින් තෙත් වනු නොඅනුමානය.