odin-captures-the-manslaughter-with-the-binding-gun

ඝන අඳුර රජයන මහ කැලෑවක නිහඬව සැඟවී තිබූ මරණයේ උගුලකට තවත් වටිනා ජීවිතයක් බිලිවී අවසන්ය. එහෙත් ඒ අඳුරු කැලෑවේ සැඟවුණු අපරාධකරුවන්ගේ රහස් කිසිදා වැළලී යාමට ඉඩ නොදී සොයාගන්නට එක් අපූරු සිව්පාවෙකුට හැකිවූයේ, මරණයේ සලකුණු ඔස්සේ කිලෝමීටර ගණනාවක් නිහඬවම පියවර මනිමිනි.




අනුරාධපුර, ඔයාමඩුව නවෝදාගම වැව ඉස්මත්තේ ඝන කැලෑවේදී සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් ගොඩගහවැව ගම්මානයේ පදිංචිව සිටි පනස් හතර හැවිරිදි යූ.බී. උබේසිරි බණ්ඩා මහතාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඔහු සිය අවසන් ගමන ගොස් තිබුණේ තවත් යුද හමුදා සෙබළකු සහ වෙනත් අයෙකු සමග ගිනි අවියක්ද රැගෙන රාත්‍රී කාලයේ දඩයමේ යමින් සිටියදීය. කිසිවකු විසින් අටවා තිබූ බඳින තුවක්කුවක අවාසනාවන්ත ලෙස පය පැටලීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුව, ඔහුගේ සගයන් දෙදෙනා විසින් මහ රෑ ඔසවාගෙන එමින් සිටියදී ඒ එන අතරමගදී ඔහු අවසන් හුස්ම හෙළා තිබුණි.

මිතුරාගේ අකල් මරණයත් සමග දඩයමේ ගිය යුද හමුදා සෙබළා සහ අනෙක් පුද්ගලයා ඔයාමඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තද, මෙම මාරක බඳින තුවක්කුව ඇටවූයේ කවුරුන්ද යන්න පිළිබඳව කිසිදු සාක්ෂියක් කැලෑව තුළ ඉතිරිව තිබුණේ නැත. මෙම අභිරහස විසඳීමේ භාරදූර වගකීම පැවරුණේ නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වා, මහනුවර අස්ගිරිය පොලිස් නිලසුනඛ පුහුණු කොට්ඨාසයෙන් විශේෂ පුහුණුව ලැබූ 'ඕඩින්' නම් දක්ෂ පොලිස් නිල සුනඛයාටය.




පොලිස් සැරයන් චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ ස්ථානයට ගෙන ආ ඕඩින්, බඳින තුවක්කුව අටවා තිබූ ස්ථානයේ යොදාගෙන තිබූ රෙදි පටිවලට ඉව කරමින් සිය මෙහෙයුම ආරම්භ කළේය. සුනඛයාගේ තියුණු ඉව කෙතරම් ප්‍රබල වීද යත්, පළමුව වෙඩි බෙහෙත් පුරවා තුවක්කුව සකස් කළ ස්ථානය සොයාගත් ඕඩින්, ඉන් නොනැවතී එතැන් සිට මහා කැලෑව මැදින් කිලෝමීටර හතරක පමණ දුෂ්කර ගමනක් යමින් හේනක ඉදිකර තිබූ පැලක් අසලට ගොස් නතර විය.

මෙම අපූරු හෝඩුවාව ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසියට අනාවරණය වූයේ එම පැලේ නිතර ගැවසෙන වෙනත් යුද හමුදා සෙබළකු ඇතුළු දෙදෙනෙකු මෙම බඳින තුවක්කු අටවා සතුන් දඩයම් කිරීමේ නිරතව සිටින ප්‍රධාන සැකකරුවන් බවයි. 2024 වසරේ සිට මේ දක්වා මනුෂ්‍ය ඝාතන හතරක් සහ විවිධ අපරාධ හතළිහකට ආසන්න ප්‍රමාණයක තොරතුරු හෙළිකර දුන් ඕඩින්ගේ සහාය ඇතිව, අස්ගිරිය පොලිස් නිලසුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර මහතාගේ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල මහතාගේ උපදෙස් මත, මේ වන විට අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ඔයාමඩුව පොලිසිය දැඩි මෙහෙයුමක් ආරම්භ කර ඇත.



සතුන්ගේ ජීවිත උදුරාගැනීමට තැබූ උගුලකින් මිනිස් ජීවිතයක්ම උදුරාගත්තද, මහා කැලෑවක් මැද සැඟවී අපරාධයක් කළ නොහැකි බව ඕඩින්ගේ නිහඬ පියවර සටහන් යළිත් වරක් සමාජයට ඔප්පු කර අවසන්ය.