උත්සව සමය එළඹීමත් සමඟ විශාල පිරිසක් සිය ගම්බිම් බලා පිටත්ව යාම හේතුවෙන් මාර්ගවල ඇතිවිය හැකි රථවාහන තදබදය පාලනය කිරීම උදෙසා පොලීසිය විසින් මේ වනවිට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මීට සමගාමීව, අධිවේගී මාර්ග පද්ධතිය තුළ අධික වේගයෙන් සහ අන් අයට තර්ජනයක් වන පරිදි අපරීක්ෂාකාරී ලෙස වාහන ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමේ විශේෂ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇත.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ රිය අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා මේ බව අනාවරණය කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගනිමින් මෙලෙස නීති කඩකරන වාහන හඳුනාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
තවද, මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අධිවේගී මාර්ග පිවිසුම් ස්ථාන ආශ්‍රිතව අමතර පොලිස් නිලධාරීන් යෙදවීමටද පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් අනතුරුදායක ලෙස රිය පදවන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම මෙහිදී අවධාරණය කර සිටියේය.
සිදුවිය හැකි රිය අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරන් මෙන්ම පදිකයින්ද එකලෙස වගකීමෙන් යුතුව අවශ්‍ය පූර්වාරක්ෂක පියවරයන් අනුගමනය කළ යුතු බව ඔහු සිහිපත් කළේය. මේ අතර, මාර්ග නීති කඩකරන අවස්ථාවන්හි මහජනතාව විසින් ලබාගන්නා වීඩියෝ දර්ශන සෘජුවම බලධාරීන් වෙත යොමු කිරීම සඳහා නව වට්ස්ඇප් (WhatsApp) අංකයක්ද මේ වනවිට හඳුන්වා දී තිබේ. ඒ අනුව, 070 4755600 යන අංකය ඔස්සේ එම තොරතුරු පොලීසිය වෙත ලබා දීමේ හැකියාව මහජනතාවට පවතී.



