ලෝකයටම අවිහිංසාවේ පණිවිඩය රැගෙන යන සුවිශේෂී ගුවන් මගියෙකු මෙරටට පය තැබුවේ යානයේ භාණ්ඩ කුටියේ නොව, මගී අසුනකය.
ඒ, අද (21) අනුරාධපුරයෙන් ඇරඹෙන ඓතිහාසික 'සාම පාගමන' සඳහා ඇමරිකාවේ සිට කටුනායකට වැඩම කළ පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟින් පැමිණි 'ආලෝකා' නම් සුරතල් සුනඛයායි. ජාත්‍යන්තරයේ පවා දැඩි අවධානයක් දිනාගත් මෙම පාගමන ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසින් අද පස්වරුවේ ආරම්භ වී කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.
මෙහි වඩාත්ම සංවේදී සහ සිත්ගන්නාසුලු කාරණය වන්නේ මෙම අතිදුෂ්කර පාගමන සඳහා සංඝරත්නය සමඟ එක්ව සිටින ආලෝකා නම් සුවිශේෂී සගයායි. සහතික ලත් සේවා සුනඛයෙකු ලෙස පිළිගැනීමක් ඇති බැවින්, ගුවන් ගමනේදී පඤ්ඤාකර හිමියන් අසලම අසුනක ගමන් කිරීමේ දුර්ලභ වරප්‍රසාදය ආලෝකාට හිමිව තිබුණි. එය හුදෙක් සතෙකුට දැක්වූ කරුණාවකට වඩා, සමස්ත ලෝකයටම ගෙනයන අවිහිංසාවේ සහ සහකම්පනයේ ජීවමාන ආදර්ශයක් බඳුය.
දින අටක් පුරා ඇදෙන මෙම සාම ප්‍රයත්නය හුදෙකලා ගමනක් නොවේ. අද පස්වරු 3.00 ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් පාගමනට එක්වන සංඝරත්නය වෙත භාරදීමෙන් පසු ඇරඹෙන මෙම ගමනට ජනාධිපති ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය මෙන්ම බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන රැසකින් නොමඳ සහයෝගයක් හිමිවේ. හෙට දින දඹුල්ලෙන් යළි ඇරඹෙන මෙම ගමන මාතලේ අලුවිහාරය පසුකරමින් 23 වැනිදා මහනුවර දළදා මාලිගාව කරා ළඟාවී අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමට නියමිතය. ඉන්පසු මාවනැල්ල, තෝලංගමුව ජාතික පාසල සහ යක්කල හරහා අප්‍රේල් 27 වැනිදා කැලණිය රජමහා විහාරයට පැමිණීමට සැලසුම් කර ඇත.
යුද්ධ, ගැටුම් සහ අර්බුද වලින් පීඩිත වත්මන් සමාජයක, කිලෝමීටර් සිය ගණනක් පයින් ගමන් කරමින් මෙලෙස සාමය සෙවීම කෙතරම් ප්‍රායෝගිකදැයි කෙනෙකුට විමසිය හැකිය. එහෙත්, අප්‍රේල් 28 වැනිදා කැලණියේදී සිසු පරපුර සමඟ සංවාදයක නිරත වීමෙන් පසු කොළඹ නිදහස් චතුරස්‍රය කරා සේන්දු වන ඔවුන් රැගෙන එන්නේ ගැඹුරු ආධ්‍යාත්මික පණිවිඩයකි. එදින සවස 4.00 ට නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවයේදී පඤ්ඤාකර හිමියන් වෙත නිල වශයෙන් බෝධි අංකුරය භාරදීම හරහා සංකේතවත් වන්නේ, සාමය යනු ඉබේ පහළ වන්නක් නොව දැඩි කැපවීමකින් රෝපණය කර පෝෂණය කළ යුතු වෘක්ෂයක් බවයි. එදින සවස ගංගාරාම විහාරයෙන් අවසන් වී, 'We are the Design' වැඩසටහනටද එක්වන භික්ෂු පිරිස මැයි පළමුවැනිදා යළිත් ඇමරිකාව බලා පිටත්ව යන්නේ ශ්‍රී ලංකාවේ සාමයේ සුවඳ ලොවටම රැගෙනය.
ආලෝකාගේ නිහඬ පියවරත්, සඟරුවනේ වෙහෙසකර පා ගමනත් අපට පවසන එක් සදාතනික සත්‍යයක් තිබේ; එනම්, සැබෑ සාමය ඇරඹෙන්නේ ආයුධ බිම තැබීමෙන් නොව, හදවත් තුළ අවිහිංසාව රෝපණය කිරීමෙන් බවයි.

