මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයකින් වෙනත් ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානි කරගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි රංග නිශාන්ත රාජපක්ෂ නැමති නිලධාරියෙකි.
පොලිසිය සඳහන් කරන පරිදි ඔහු අද (30) උදෑසන සිය නිවස පිහිටි ඉඩමේ පිටුපස පහළ කොටසේදී තියුණු ආයුධයකින් ගෙල කපාගෙන මෙලෙස දිවි නසාගෙන ඇත.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදු කර ඇති අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මියගිය මෙම නිලධාරියා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් මීට පෙර පියවර ගෙන තිබුණි.
ඊට හේතු වී තිබුණේ භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියානු ණය හිමියෙකුට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 2.5ක ණය වාරික මුදලක් හැකර්වරුන් පිරිසක් විසින් වෙනත් ගිණුමකට හරවා ගැනීමේ මූල්‍ය වංචාවකට අදාළව විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක වීමයි.
මෙම දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී සිටින ලෙස මියගිය සහකාර අධ්‍යක්ෂවරයාට අවස්ථා දෙකකදී දැනුම් දී තිබී ඇත.
එහෙත් ඔහු එම අවස්ථා දෙකේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහැර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ප්‍රකාශ කළේය.
ජීවිතක්ෂයට පත්වූ රංග නිශාන්ත මහතා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි. කුලියාපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
