සාමාන්‍ය මිනිසෙකු ලෙස රාත්‍රියේ නින්දට ගොස්, පසුදා උදෑසන රුපියල් මිලියන හයසිය විස්සකට අධික මහා ධනස්කන්ධයක හිමිකරුවෙකු ලෙස අවදි වීම කෙබඳු හැඟීමක් ද?
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් බිහි වූ දැවැන්තම ජයග්‍රාහකයාට හිමි රුපියල් 629,855,919.60 ක වාර්තාගත මුදල් චෙක්පත ප්‍රදානය කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. පසුගිය 2026 පෙබරවාරි 19 වැනිදා දිනුම් ඇදූ ‘ජයමල්ල කප්රුක’ ලොතරැයි පතකින් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා වී ඇත.
එදිනෙදා ජීවන අරගලය ජයගැනීම සඳහා ලොතරැයි පතකින් වාසනාව උරගා බලන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිටින රටක, එක් නාඳුනන පුද්ගලයෙකුගේ දෛවය මේ ආකාරයෙන් වෙනස් වීම සැබවින්ම විස්මිතය. රුපියල් කිහිපයක් වියදම් කර මිලදී ගත් කඩදාසි කැබැල්ලක්, එක් රැයකින් පරම්පරා ගණනාවකට සරිලන ධනයක් ගෙන එනු ඇතැයි ඔහු හෝ ඇය කිසිදා නොසිතන්නට ඇත.
මෙම අතිවිශාල චෙක්පත නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය හෙට දිනයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ඒ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. බලධාරීන් පෙන්වා දෙන පරිදි, මෙම ත්‍යාග මුදල මෙරට ලොතරැයි ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සලකුණු කරන අතර, එය ලොතරැයිපත් කෙරෙහි මහජනතාව තුළ ඇති අතිමහත් උනන්දුව මෙන්ම ක්ෂේත්‍රයේ දිනෙන් දින ඉහළ යන ත්‍යාග පිරිනැමීමේ ධාරිතාවද මනාව පිළිඹිබු කරන්නකි.
කෙසේ වෙතත්, මේ සා විශාල මුදලක් හදිසියේ අතට ලැබීමත් සමඟ ජයග්‍රාහකයාගේ ජීවිතය කුමන දිශානතියකට යොමු වනු ඇත්ද යන්න මේ වන විට සමාජය තුළ මතු වී ඇති ප්‍රධානතම කුතුහලයයි. කෝටි හැට දෙකකට අධික මෙම මුදල නිවැරදිව කළමනාකරණය කරගැනීම මෙන්ම, හදිසි ධනවතුන් පසුපස හඹා එන සමාජීය අභියෝගයන්ට මුහුණ දීම ද එම මුදල දිනාගැනීමටත් වඩා අසීරු සටනක් වනු නිසැකය.
කුඩා ලොතරැයි පතකට මිනිසෙකුගේ බැංකු ගිණුම එක රැයකින් වෙනස් කළ හැකි වුවද, ඉන් ඔහුගේ මුළු මහත් ජීවිතයේම ඉදිරි කතාව ලියවෙන ආකාරය තීරණය කරනු ලබන්නේ කාලය විසින් පමණි.



