suspicious-about-the-sudden-death-of-koshena-mother-of-four

හඳපාන්ගොඩ, කොස්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්තුන් හැවිරිදි සිවුදරු මවකගේ හදිසි මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී, ඇයගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා පියවර ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ සෙල්වරාජන් නිශාන්ති නැමැති කාන්තාවකි.

ඇයගේ මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා විසින් සිදු කරනු ලැබීය.




මියගිය කාන්තාවගේ වත්මන් සහකරු වන ආරිමුගම් ධර්මදාස් කුමාර යන අය මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, දරු ප්‍රසූතියෙන් පසු නිවසට පැමිණ දින පහකට පමණ පසු ඇති වූ උදරයේ ආබාධයක් හේතුවෙන් ඇයව නැවතත් රෝහල්ගත කළ බවයි. පසුදින දහවල් කාලයේදී ඇයගේ සුවදුක් බැලීමට රෝහලට ගිය අවස්ථාවේදී ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව ඔහු පවසා තිබේ. ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත්තේ, කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යන තමන්ට ඇයව මුණගැසී ඇත්තේ යටවතුර ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපළක සේවය කරන අතරතුරදී බවයි. මුල් කාලයේදී ඇය හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක බවත් තමන්ට කිසිවෙකු නොමැති බවත් පවසා ඇතත්, පසුව ඇය විවාහක කාන්තාවක් බවත් ඇයට පුතුන් දෙදෙනෙකු සහ දියණියක සිටින බවත් අනාවරණය කර තිබේ.

ඔවුන් දෙදෙනා වසරක පමණ කාලයක සිට එකට ජීවත්ව ඇති අතර, පසුව අදාළ දරුවන් තිදෙනාද තම නිවසට රැගෙනවිත් රැකබලා ගැනීමට එම සහකරු කටයුතු කර ඇත. ඉකුත් අප්‍රේල් මස පළමුවැනිදා (2026.04.01) ඇය ඔවුන්ගේ පළමු දරුවා මෙන්ම ඇයගේ සිව්වන දරුවා වන ගැහැණු දරුවෙකුට උපත ලබා දී සාමාන්‍ය තත්ත්වයෙන් නිවසට පැමිණීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ. මෙම මරණ පරීක්ෂණයේදී මියගිය කාන්තාවගේ පියා වන පලයංචි සෙල්වරාසු නැමැත්තා ද සිය දියණියගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී ඇත.




මෙම කාන්තාවගේ මරණයෙන් පසුව ඇයගේ පෙර විවාහයේ දරුවන් තිදෙනා භාරගැනීම ඔවුන්ගේ නීත්‍යානුකූල පියා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ හේතුවෙන් අදාළ දරුවන් තිදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන්ව පරිවාස භාරයට පත් කරන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී‍ විදානගමගේ මහත්මිය විසින් නියෝග කරනු ලැබුවාය.