
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා නව ගුවන් යානා දහයක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මූල්‍ය වංචාවකට අදාළව, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ වෙත නිකුත් කර ඇති රතු වරෙන්තුව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූයේ මන්දැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රහස් පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ.
මෙම සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.
2013 වසරේදී යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමක් (EADS) හරහා මෙම ගුවන් යානා ඇණිය මිලදී ගැනීමේදී බෲනායි රාජ්‍යයේ පිහිටුවූ ව්‍යාජ සමාගමක් මාර්ගයෙන් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක (යුරෝ 1,454,645.54) අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය සිදුකරයි.
ජේ.සී. වැලිඅමුණ වාර්තාව මගින් හෙළිදරව් වූ කරුණු පදනම් කරගනිමින්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා 2018 වසරේ අගෝස්තු 03 වැනිදා පොලිස්පතිවරයා වෙත සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ වී ඇත.
විදේශගතව සිටිමින් අධිකරණය මගහැරීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ ඉල්ලීමක් මත පසුගිය පෙබරවාරි 02 වැනිදා ශමීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබූ බව අධිකරණයේදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
මේ අතර, ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ උපදෙස් මත සැකකාර ප්‍රියංකා නියෝමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා කරුණු දක්වමින්, විදේශගතව සිටින තම සේවාදායිකාව අධිකරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව ප්‍රකාශ කළේය. එහෙත් අල්ලස් කොමිසම විසින් පවරා ඇති මෙවැනිම නඩුවකට මුහුණ දෙන ඇයගේ සැමියාට එල්ල වී ඇති ජීවිත තර්ජන සහ බලපෑම් හේතුවෙන් ඇය අධිකරණය හමුවට පැමිණීමට බියකින් පසුවන බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන සැකකාර කපිල චන්ද්‍රසේන ලබන ජූලි 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ අතර, විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙමින් නඩුව ජූලි 15 වැනිදා දක්වා කල් තබන ලදී.

