dogs-and-cats-have-become-sick-thousands-of-times-due-to-years-of-fires

පසුගිය අලුත් අවුරුදු සමය තුළ ක්‍රියාත්මක කළ ගිනිකෙළි සහ රතිඤ්ඤා පිපිරවීම් හේතුකොටගෙන ශ්‍රී ලංකාව පුරා වෙසෙන සුනඛයින් මෙන්ම බළලුන් දසදහසකට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ මානසික ආතතීන්ට සහ ශ්‍රවණාබාධවලට ගොදුරු වී ඇති බව පශු වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබේ. උත්සව ප්‍රීතිය භුක්ති විඳින අතරතුරදී අහිංසක සතුන් මුහුණ දෙන මෙම ඛේදනීය තත්ත්වය පිළිබඳව සමාජයේ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම දැඩි කනගාටුවට කරුණක් බව පශු වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.




මෙම තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කරන එම සංගමයේ උපදේශක පශු වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ රතිඤ්ඤා ශබ්දය මගින් සතුන්ට ඇතිවන පීඩාව සාමාන්‍ය ජනයා සිතනවාට වඩා ඉතාමත් බරපතළ බවයි. මිනිස් කනට වඩා සතුන්ගේ ශ්‍රවණ හැකියාව ඉතා සංවේදී වන අතර, සුනඛයෙකුට හර්ට්ස් 60,000ක් ද බළලෙකුට හර්ට්ස් 85,000ක් ද දක්වා වූ ඉතා ඉහළ සංඛ්‍යාත ග්‍රහණය කරගැනීමට හැකියාව පවතී. මේ හේතුවෙන් අධික ශබ්දයක් සහිත පිපිරීම් ඔවුන්ට ගෙන දෙන්නේ දරාගත නොහැකි වේදනාවකි. සාමාන්‍ය රතිඤ්ඤා සහ ගිනිකෙළි වලින් නිකුත් වන ශබ්දය ඩෙසිබල් 120ත් 175ත් අතර අගයක් ගන්නා බවත්, එම අගය ඩෙසිබල් 140 සීමාව ඉක්මවා ගිය විට සතුන්ගේ කනෙහි අභ්‍යන්තරයට බරපතළ හානි සිදුවී ඔවුන් ස්ථිර හෝ තාවකාලික බිහිරි භාවයට පත්වන බවත් හෙතෙම අනතුරු අඟවා සිටියි.

එවැනි සෘජු ශාරීරික හානිවලට අමතරව ක්ෂණිකව සිදුවන අධික පිපිරුම් හඬ හේතුවෙන් අතිශය භීතියට පත්වන සතුන් ආරක්ෂාව පතා හිතුමතේ දිව යාමට පෙළඹෙති. එම ක්‍රියාවලිය තුළදී පාර වැරදීම නිසා අතරමං වන සතුන් මෙන්ම, රථවාහන අනතුරු වලට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වන සතුන් සංඛ්‍යාව ද ඉතා විශාල බව වාර්තා වේ. මෙම බිහිසුණු තත්ත්වය සුරතල් සතුන්ට පමණක් සීමා නොවී අවට පරිසරයේ වෙසෙන කුරුල්ලන්ට ද අහිතකර ලෙස බලපාන බව වෛද්‍යවරයා විසින් වැඩිදුරටත් අනාවරණය කර ඇත. අසාමාන්‍ය ශබ්ද නිසා පක්ෂීන්ට ද සිය ශ්‍රවණ හැකියාව අහිමි වී යා හැකි අතර, ප්‍රබල පිපිරීම් සමඟ ඇතිවන කම්පන තරංගවල බලපෑමෙන් කූඩුවල තිබෙන කුරුළු බිත්තර පවා පුපුරා විනාශ වී යාමේ අවදානමක් පවතින බව සඳහන් වේ.